නව අමාත්‍ය මණ්ඩලය ලබන 2 දිවුරුම් දෙයි

Wednesday, 26 August 2015 - 14:06

%E0%B6%B1%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+2+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පිහිටුවන ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන සැප්තැම්බර් 02 වනදා දිවුරුම්දීමට නියමිතයි.

ජාතික ආණ්ඩුව සඳහා අවසන් එකඟතාව අද (26) ඇතිවු අතර, ඊට සුහද මෙන්ම ගැඹුරු සාකච්ඡා පැවැත් වූ බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කළා. එහි සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මලික් සමරවික්‍රම කියා සිටියේ මෙම එකඟතාව ඇතිකර ගැනීමට දෙපක්ෂයම කැප කිරීම් කළ බවයි.

පක්ෂ දෙකට අමාත්‍ය ධුර බෙදී යන ආකාරය නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර එකඟතාවක් ඇතිවු බවද මලික් සමරවික්‍රම මන්ත්‍රීවරයා කියා සිටියා.  

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේ ඔවුන්ට හිමිව තිබූ ප්‍රධාන අමාත්‍ය ධුර ඊළඟ අමාත්‍ය මණ්ඩලයේදීද ඔවුන් වෙත හිමිවනු ඇතැයි විශ්වාසය පළ කරන බවයි. මුදල්, සෞඛ්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ධුරද ඊට අයත්. නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයට අමාත්‍ය ධුර 30 ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අමාත්‍ය ධුර 15 ක් හිමිවන බවයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයාත් සමඟ දින සියයේ ආණ්ඩුවේ සිටි කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 40 ක්. එයින් ජනාධිපතිවරයාද සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ හෙළ උරුමයේ අමාත්‍යවරුන් සිටියේ 16 දෙනෙකු පමණයි. ඉතිරි 24 දෙනාම එක්සත් ජාතික පක්ෂය සහ ඊට සහය දෙන කණ්ඩායම් නියෝජනය කළා.

එහෙත් මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා හෙළ උරුමය නියෝජනය කළ අමාත්‍යවරුන් 04 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත් වී තිබෙනවා. ඒ, චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග සහ එම්.කේ.ඒ.ඞී.එස්.ගුණවර්ධනයි.

එමෙන්ම, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ දෙදෙනෙකුගේ අමාත්‍ය ධුර පුරප්පාඩු වූ ඒවා ලෙස සැලකිය හැකියි. ඒ, පරාජය වූ ජෝශප් මයිකල් පෙරේරාගේ සහ කතානායක ධුරයට යෝජනා වී ඇති කරූ ජයසූරියගේ අමාත්‍ය ධුරයි. නිදහස් පක්ෂය නියෝජනය කළ අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, ෆිලීක්ස් පෙරේරා සහ රෙජිනෝල්ඞ් කුරේ මෙවර පාර්ලිමේන්තුවට පත් නොවීම නිසා එම ධුර 03 ද පුරප්පාඩු වී තිබෙනවා.

කෙසේ වෙතත්, 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව තනි පක්ෂයක් ආණ්ඩුවක් පිහිටුවන විට කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව 30 ක් විය යුතුයි. රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර සංඛ්‍යාව 40ක් විය යුතුයි. එහෙත් දැන් පිහිටුවීමට නියමිතව ඇත්තේ ජාතික ආණ්ඩුවක් වන නිසා මෙම කැබිනට්, රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 70 කට සීමා විය යුතු නැහැ. එම ගණන පාර්ලිමේන්තුව විසින් තීරණය කළ හැකියි.

ඒ අනුව සැප්තැම්බර් පළමු වනදා පාර්ලිමේන්තුව රැස්වූ විට එම තීරණය ගනු ඇති. ඊට අනුකූලව අමාත්‍ය මණ්ඩලය දෙවැනිදා  දිවුරුම්දීමට නියමිතයි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුවක් පිහිටුවන විට ඇතිකරගත් මූලික එකඟතාව වන්නේ පසුගිය 21 වනදා දෙපක්ෂයේ ලේකම්වරුන් අත්සන් කළ අවබෝධතා ගිවිසුමයි. එය කරුණු 10 කින් සමන්විතයි. ආර්ථිකය දියුණු කිරීම, නිදහස තහවුරු කිරීම, දූෂණය තුරන් කිරීම ආදී මෙම කරුණු ගැන තවදුරටත් සාකච්ඡා කර සම්මුතියකට එළැඹෙනු ඇති. සුවිශේෂී කරුණ වන්නේ වසර දෙකකට වලංගු මෙම ගිවිසුම පවතින කාලය තුළ පක්ෂ දෙකේ ජනතා නියෝජිතයින්ට පක්ෂ දෙක අතර පක්ෂ මාරු කළ නොහැකි වීමයි.

නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවකට එකඟ වූවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානය එවැන්නකට එකඟ වී නැතැයි එහි පාර්ශවකරුවෙකු වන මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.