දේශීය යාන්ත්‍රණයට ඇමරිකාව සහය දැක්වීම ගැන තමිල්නාඩුවේ විරෝධය

Saturday, 29 August 2015 - 12:53

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%BA
මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සකස් කෙරෙන දේශීය යාන්ත්‍රණයට ඇමරිකාව සහාය පළ කිරීමට එරෙහිව තමිල්නාඩුවේ විරෝධතා රැල්ලක් පැන නැගී තිබෙනවා. තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක මුත්තුවෙල් කරුනානිධි සහ පාඨලී මක්කල් පක්ෂයේ එස්. රාම්දාස් ඒ අතරින් පෙරමුණ ගෙන ඇති බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කළේ. තමිල්නාඩු ඞී.එම්.කේ. පක්ෂ නායක කරුනානිධි නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ දේශීය යාන්ත්‍රණයකට සහාය දැක්වීම තුළින් ඇමරිකාව, ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේ සිදුවූ අපරාධ වසන් කිරීමට උත්සාහ කරන බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයට ඉඩ නොදිය යුතු බව ඔහු කියා සිටියා.

ඇමරිකාව, ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයකට සහාය දැක්වීම වේදනාකාරී පුවතක් බවයි පාඨලීමක්කල් පක්ෂ නිර්මාතෘ රාම්දාස් ප්‍රකාශ කළේ. එය තමා අපේක්ෂා නොකළ පුදුමයට පත් කළ තීරණයක් ලෙස ඔහු හැදින්වූවා. මේ අනුව ඇමරිකාව දෙමළ ජනතාවගේ අපේක්ෂාවන් පාවා දෙන්නේ දැයි සැකයක් මතුවන බව ඔහු කියා සිටියා. ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවේ යුද්ධය පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සහතික කරන බව අපේක්ෂා කරන්නේ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මෙරට යුද්ධය පිළිබඳ දේශීය යාන්ත්‍රණයකට සහාය පළ කරන බව දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ප්‍රකාශ කළේ පසුගිය දා යෙදුණු ශ්‍රී ලංකා සංචාරයේදියි. ඒ සඳහා ශ්‍රී ලංකාවට සහාය පළ කිරීමේ යෝජනාවලියක් ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරයට ඉදිරිපත් කරන බව ද ඇය සඳහන් කළා. ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා වූ මානව හිමිකම් මණ්ඩල යෝජනාව මීට පෙර ඉදිරිපත් කරනු ලැබූයේ ද ඇමරිකාව විසින් වීම විශේෂත්වයක්.

මේ අතර, යුද අපරාධ පිළිබඳව දේශීය පරීක්ෂණයකින් සෑහීමකට පත්විය නොහැකි බව උතුරු පළාත් සභා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ප්‍රකාශ කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ යාපනයේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

දෙමළ ජාතික සන්ධානයේ එක් පක්ෂයක් වන ටෙලෝ සංවිධානය නියෝජනය කරන ශිවාජිලිංගම් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය එම සන්ධානයේ පොදු මතය දැයි අප විමසා සිටියේ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ගෙන්. එහිදී ඔහු කියා සිටියේ තමන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පිළිබද තවදුරටත් විශ්වාසය තබන බවයි.