පොළොන්නරුවේ වී මෙට්‍රික් ටොන් 11,000 ක් විනාශයි

Saturday, 29 August 2015 - 13:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%99%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A+11%2C000+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B7%92
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වී ගබඩා මධ්‍යස්ථාන 9 ක සහ අතුරු ගබඩා 120 ක ගබඩා කර ඇති වී මෙට්‍රික් ටොන් 11,000 කට අධික ප්‍රමාණයක් කෘමි උවදුර හේතුවෙන් විනාශ වී තිබෙනවා. දිස්ත්‍රික් ගොවි සංවිධාන සහ සමූපකාර සමිති සඳහන් කළේ රජය මගින් නිසි සොයාබැලීමක් සිදුකර නොමැති හෙයින් මෙලෙස වී විනාශ වී ඇති බවයි.

පසුගිය මහ කන්නයේ ලබාගත් වී තොග මෙලෙස ගබඩා කර ඇති බවයි ගොවි සංවිධාන පෙන්වා දෙන්නේ. පොළොන්නරුව දිස්ත්‍රික් සමූපකාර මණ්ඩලයේ සභාපති උපුල් අලහකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මීට පෙර මිලදී ගත් වී  ගබඩාවල තැන්පත් කර ඇති හෙයින් මෙවර කන්නයේ වී ගබඩා කිරීම සඳහා ඉඩ පහසුකම් නොමැති බවයි. මේ හේතුව නිසා ගොවීන් දැඩි දුෂ්කරතාවලට පත්ව ඇති බවද ඔහු සඳහන් කළා.



ප්‍රදේශ කිහිපයක වී අලෙවි මණ්ඩලයේ මිලදී ගන්නා මධ්‍යස්ථානවලට තම වී තොග රැගෙන පැමිණි ගොවීන් පසුගිය දිනවල දැඩි අපහසුතාවට පත්වුණා. ඒ, වී මිලදී ගැනීමේ කටයුතුවල සිදුවූ ප්‍රමාදයන් හේතුවෙන්. එම නිසා අදාළ ස්ථානවල දිගු පෝලිම් පැවති අතර ඇතැම් ගොවීන් දින 5ක් පමණ එම පෝලිම්වල රැදී සිටීමෙන් අනතුරුවයි තම අස්වැන්න අලෙවි කර තිබුණේ.

මේ අතර අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයක වී මිලදී ගැනීමේ මධ්‍යස්ථාන අවට දිගු පෝලිම් දක්නට ලැබෙන බව අප වාර්තාකරුවන් පවසනවා. විශේෂයෙන්ම පොළොන්නරුව, අම්පාර, ආදී ප්‍රදේශවල මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි වාර්තාවන්නේ.

රටේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය පිළිබද අම්පාර දිස්ත්‍රික්  එක්සත් ජනතා නිදහස් සන්ධානයේ  විමලවීර දිසානායක අදහස් පළ කළා.



කෙසේ වෙතත් අතිරේක නිලධාරීන් ද යොදා ගොවීන්ගෙන් වී මිලට ගැනීමට කටයුතු කරන බවයි වී අලෙවි මණ්ඩලයේ සභාපති එම්.බී. දිසානායක ප්‍රකාශ කළේ.  එමෙන්ම වී බහාලීමට අවශ්‍ය කරන උර හිඟයක් මතුව ඇති හෙයින් ගොවීන් දුෂ්කරතාවට පත්ව ඇති බවටද වාර්තාවුණා. මේ හේතුවෙන් වී උරයක මිල රුපියල් 40 සිට 60 දක්වා ඉහළ ගොස් ඇති බවයි ගොවීන් චෝදනා කළේ. කෙසේ වෙතත් වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ වී උර හිඟ ප්‍රදේශවලට කඩිනමින් ඒවා බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවයි.