TNA විපක්ෂ නායක ඉල්ලයි

Sunday, 30 August 2015 - 7:29

TNA+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව නව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකධුරය තමන්ට හිමිවිය යුතු බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙන්නේ මැතිවරණය ජයග්‍රහණය කළ එක්සත් ජාතික පක්ෂය සහ දෙවනුව වැඩිම මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවකට එක්වීමට සූදානම් වන බවයි. ඒ අනුව ඉදිරි පාර්ලිමේන්තුවේ එම පක්ෂ දෙකටම පැවරෙන්නේ සාමුහික වගකීමක්. විපක්ෂයේ වගකීම ඉටු කිරීමට දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි මන්ත්‍රී නියෝජනයක් පාර්ලිමේන්තුව තුළ පවතින බවයි එම සන්ධානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම නිවේදනය මගින් දෙමළ ජනතාවගේ ගැටලූව විසඳීම පිළිබඳවද අවධානය යොමුකර තිබෙනවා. ඊට රජය ගනු ලබන  ඕනෑම ප්‍රශස්ත ක්‍රියාමාර්ගයකට සහයෝගය දැක්වීමට සූදානම් බව එහි සඳහන්. කෙසේ වෙතත්, රජය මේ සඳහා ප්‍රමාණවත් මැදිහත්වීමක් සිදුකළ යුතු බවයි දෙමළ ජාතික සන්ධානය සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර, ලබන 01වනදා 08වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ වනවිට විපක්ෂ නායකවරයා කවුරුන්ද යන්න තීරණය කළ යුතු වූවද, මේ වනතුරුත් ඒ පිළිබඳව නිශ්චිත තීරණයක් ගෙන නැහැ. පෙරේදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්  නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වු අතර, එහිදී විපක්ෂ නායකයා පිළිබඳ තීරණ ගැනීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් ජනාධිපතිවරයා වෙත පවරනු ලැබුවා.  

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂද විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් දරන්නේ විවිධ අදහස්. ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ පවසන්නේ ජනාධිපතිවරයා ඉදිරිපත් කරන විපක්ෂ නායකවරයා තමන් පිළිනොගන්නා බවයි.

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේ  විපක්ෂ නායකධුරය යනු පාර්ලිමේන්තු කටයුත්තක් බවයි. ඊට පෙර ආණ්ඩුව ඇමති මණ්ඩලය පත්කළ යුතුව ඇති බවයි ඔහු කියා සිටියේ.

ජනතා විමුක්ති පෙරමුණ පවසන්නේ කවුරුන් විපක්ෂ නායක වූවද, විපක්ෂයේ කාර්යභාරය ඉටු කිරීමේ වගකීම ජනතා විමුක්ති පෙරමුණට පැවරෙන බවයි එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේ.