Update: රජයේ මුදල් ලක්ෂ 132ක් අවභාවිතය ගැන ලිපිගොනු නීතිපතිට

Sunday, 30 August 2015 - 7:40

Update%3A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+132%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%9C%E0%B7%9C%E0%B6%B1%E0%B7%94+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට වෙන් කරන ලද රුපියල් එක්කෝටි තිස් දෙලක්ෂයකට ආසන්න මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන ලිපිගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම තීරණය කර තිබෙනවා. එහි ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්‍ෂ ලැසිල් ද සිල්වා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මේ සම්බන්ධයෙන් එවකට වැඩබලන ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සරත් කුමාර ගුණරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ සභාපතිවරයා ඇතුලූ නිලධාරීන් පිරිසකගෙන් සාක්ෂි ලබාගෙන ඇති බවයි.

පසුගිය දෙසැම්බර් මස ඉදිරිපත් කළ අයවැයෙන් මීගමුව කලපුව සංවර්ධනයට ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව මගින් මුදල් වෙන් කෙරුණා. දෙසැම්බර් 30 වනදා මීගමුව නගර සභා පිටියේ පැවති රැස්වීමට ඉන් ලක්ෂ 89 ක් සහ ඊට අදාළව කැප් තොප්පි සහ ටීෂර්ට් මුද්‍රණය කිරීමට ලක්ෂ 43ක් අයථා ලෙස භාවිතා කර ඇති බවට හෙළි වී තිබෙනවා. මහජන සාක්ෂි විමසීමේදී මෙම කරුණු අනාවරණය කර ගැනීමට හැකිවූ බවයි බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසමේ ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්ෂ ලැසිල් ද සිල්වා කියා සිටියේ.

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම නිලධාරින් පස් දෙදෙනෙකුගෙන් සමන්විතයි. එහි සභාපතිත්වය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් දරනු ලබන අතර සෙසු සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවන් වන අමේන්ද්‍ර සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි සහ ජිහාන් කුලතුංග කටයුතු කරනු ලබනවා. එමෙන්ම හිටපු විගණකාධිපති ඒ පී ප්‍රේමතිලක ද කොමිසමේ තවත් සාමාජිකයෙක්.

Sunday, 30 August 2015 - 12:39
--------------------------------------------
ජනපති කොමිසමට පැමිණිලි 867ක් -  250 ක් විමර්ශනයට

පසුගිය රජය සමයේ සිදුවු රාජ්‍ය මුදල් සහ දේපළ අවභාවිතය සම්බන්ධයෙන් පැමිණිලි 867ක් ඉදිරිපත් වී ඇති බව බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම පවසනවා. එම කොමිසම ආරම්භකර ගතවු මාස 05 ක කාලය තුළ මෙම පැමිණිලි ඉදිරිපත් වී ඇති බවයි කොමිසමේ ලේකම්, පාර්ලිමේන්තුවේ හිටපු පරිපාලන අධ්‍යක්‍ෂ ලැසිල් ද සිල්වා ප්‍රකාශ කළේ. මෙම පැමිණිලිවලින් 250ක් ස්ථිර ලෙසම විමර්ශනය කළ යුතු බවට ජනාධිපති කොමිසම නිගමනය කර තිබෙනවා.  

බරපතල වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති විමර්ශන කොමිසම නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විතයි.

එහි සභාපතිත්වය මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් දරනු ලබන අතර, සෙසු සාමාජිකයන් ලෙස මහාධිකරණ විනිසුරුවරුන් වන අමේන්ද්‍ර  සෙනෙවිරත්න, විකුම් කළුආරච්චි සහ ජිහාන් කුලතුංග කටයුතු කරනවා. එමෙන්ම හිටපු විගණකාධිපති ඒ.පී.ප්‍රේමතිලකද කොමිසමේ තවත් සාමාජිකයෙක්.