අභ්‍යන්තර පරීක්ෂණ යාන්ත්‍රණය එක්සත් ජාතීන් පිළිගනීවි

Sunday, 30 August 2015 - 13:51

%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%92
ලබන මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී මෙරට යුද්ධය පිළිබඳ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණය තහවුරු කෙරෙනු ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍ර‍්‍රකාශිකාවක සඳහන් කළේ දේශීය යාන්ත්‍රණයකට සහය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කරන යෝජනාව මානව හිමිකම් මණ්ඩලය විසින් පිළිගනු ඇති බවයි. එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල්ගේ ශ්‍රී ලංකා සංචාරයේදී එවැනි යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශයට පත්වුණා.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකළ යුතු බවට පසුගිය වසරේ ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී යෝජනාවක් සම්මත කරගත් අතර, එහි සම අනුග්‍රාහකයෙකු වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකාව පෙන්වා දෙන්නේ එම යෝජනාව සම්මත කරගැනීමෙන් පසු, පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවේ වාතාවරණය බෙහෙවින් වෙනස්වී ඇති බවයි. විශේෂයෙන් නව රජය මගින් ජාත්‍යන්තර ප්‍රජාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමටත් මෙරට මානව හිමිකම් තත්ත්වය ශක්තිමත් කිරීමටත් පියවර ගනිමින් සිටිනවා. පසුගිය රජය සමයේ මානව හිමිකම් මණ්ඩලයට ප්‍රතිඥා දුන් කරුණු ඉටු නොකිරීම ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් සම්මත කරගැනීමට මුල්වූ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ අදහසයි.

ජගත් මානව හිමිකම් මණ්ඩලයේ මහ කොමසාරිස්වරයාගේ ශ්‍රී ලංකාව පිළිිබඳ වාර්තාව පසුගිය මාර්තු මාසයේදී ජිනීවා සැසිවාරය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් ශ්‍රී ලංකාවේ නව වර්ධනයක් සැළකිල්ලට ගෙන එය සැප්තැම්බර් මාසය දක්වා කල් තැබීමට ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා තීරණය කළා.

ඒ අනුව මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරය සඳහා එම වාර්තාව ඉදිරිපත් කෙරෙනවා. එය සැප්තැම්බර් 27වනදා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකාව සඳහන් කළේ. කෙසේ නමුත් එම වාර්තාව ඉදිරිපත් කරන අවස්ථාව සඳහා ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා සහභාගි නොවන බව සඳහන්. ඔහු ඒ වනවිට නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතින්ගේ 70 වන සංවත්සර උත්සවයට සහභාගිවීම ඊට හේතුවයි.

මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට විශාල නියෝජිත පිරිසක් සහභාගි කරවීමට අපේක්ෂා නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය අවධාරණය කළා. කෙසේනමුත් සැප්තැම්බර් 14 වනදා සහ 15 වනදා පැවැත්වෙන ඉහළ පෙලේ සැසිවාරය සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගි වනු ඇති.

මේ අතර ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයකට සහය දැක්වීම තුළින් ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව පිළිබඳ ඉන්දියාවේ ස්ථාවරය හා එකඟවී ඇති බවයි. පසුගිය ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවට එරෙහිව ඉන්දියාව ඡුන්දය ප්‍රකාශ කළා. ඒ, ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය නොවන අතර, දේශීය පරීක්ෂණයක් ප්‍රමාණවත් බව පවසමින්.

ඉන්දීය පුවත්පත වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව වර්තමානයේ ලබා ඇති ප්‍රගතිය සැළකිල්ලට ගෙන දේශීය පරික්ෂණ යාන්ත්‍රණයට ජාත්‍යන්තර ප්‍රජාව සහය දැක්විය යුතු බවයි. කෙසේ නමුත් ඇමරිකා එක්සත් ජනපදය මෙරට දේශීය පරික්ෂණ ක්‍රියාවලියට සහය දැක්වීමට එරෙහිව දකුණු ඉන්දියාවේ විරෝධතා රැල්ලක් පැන නැගුණා. චෙන්නායි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලය ඉදිරිපිට පසුගිය සතියේ එවැනි උද්ඝෝෂණයක්ද පැවැත්වුණා.