නියඟයත් සමඟ පොළොන්නරුවේ වන අලි ගම් වදී

Sunday, 30 August 2015 - 19:36

%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%AF%E0%B7%93
පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පොළොන්නරුවේ රක්ෂිතවල සිටින වනඅලීන් ගම්වැදීම හේතුවෙන් දුෂ්කරතාවයට පත්වී ඇති බව ගම්වාසීන් පවසනවා. හබරණ රක්ෂිතයේ වෙසෙන වනඅලීන් මෙලෙස ගම්වදින බවයි හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් ගම්වාසීන් සඳහන් කළේ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ - සොරිවිල - දිඹුලාගල - දළුකාන ආදී ප්‍රදේශවලට මෙම වනඅලි ගැටලූව මතුව ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, ජලය සොයා පැමිණෙන වනඅලීන් පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයට පිවිසීම හේතුවෙන් ඇතැම් අවස්ථාවලදී ගමනාගමනයට ද බාධා එල්ල වනවා. හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසින් කිහිපදෙනෙකු සඳහන් කළේ වියළි කාලගුණයත් සමඟ වනඅලීන් රාත්‍රී කාලයේදී වැඩි වශයෙන් ගම්වදින බවයි.

මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් වැලිකන්ද, අසේලපුර, බොරවැව සහ රුවන්පිටිය ආදී ප්‍රදේශවල ජනතාව දැඩි පීඩාවට පත්වී තිබෙනවා. මේ වනවිට ඔවුන්ට පානීය ජලය ලබාගැනීම ද ගැටලූවක් වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ජලය ලබාදීමට කටයුතු කළ ද ඒවා ප්‍රමාණවත් නොවන බවයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු සඳහන් කළේ.

මෙම ගැටලූ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් එස්.සේනානායකගෙන් විමසීමක් කළා. ඔහු සඳහන් කළේ ජල බවුසර් හරහා සෑම ප්‍රදේශයකටම පානීය ජලය ලබාදීමට කටයුතු කර ඇති බවයි. එමෙන්ම, අලීන් ගම්වැදීම වැළැක්වීම සඳහා විදුලි වැටවල් ඉදිකිරීමට ද පියවර ගෙන ඇති බවයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේ.

මේ අතර, තවත් දිස්ත්‍රික්ක 4 කට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය නිසා ජනතාව පීඩාවට පත්ව සිටිනවා. මඩකලපුව, ත්‍රිකුණාමලය, යාපනය සහ  අම්පාර යන දිස්ත්‍රික්කවලට මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් බලපා තිබෙන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. එම දිස්ත්‍රික්කවල ජනතාව මුහුණදී සිටින පානීය ජල අර්බුදයට විසඳුමක් ලෙස දිනකට ජලය ලීටර් ලක්ෂ දෙකක් පමණ බෙදා හැරීමට කටයුතු කර ඇති බව ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.