විපක්ෂ නායක ධුරය ගැන අපේක්ෂා නොකරන තීන්දුවක්

Monday, 31 August 2015 - 19:31

%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිවෙකු නොසිතන තීන්දුවක් හෙට දිනයේදී ජනාධිපතිවරයා ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළා. අද උදෑසන ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

08 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය හෙට පෙරවරු 9යි 30ට ආරම්භ වන අතර ප්‍රථමයෙන්ම සිදුවන්නේ කථානායකවරයා තෝරා ගැනීමයි. කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීකරූ ජයසූරියගේ නම යෝජනා වී තිබෙනවා. නියෝජ්‍ය කතානායක ධූරය නිදහස් පක්ෂයට හිමි වීමට නියමිත අතර ඒ සඳහා හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසිගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

සභානායකවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස ගයන්ත කරුණාතිලක යන හිටපු අමාත්‍යවරුන් යලිත් පත් වනු ඇති. එහෙත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා කවුරුන් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

විපක්ෂ නායකවරයා ධූරයට පත් වන පුද්ගලයා සම්බන්ධයෙන් කතා බහක් නිර්මාණය වී ඇත්තේ එම ධූරයේ කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාලද සිල්වාට කැබිනට් අමාත්‍ය ධූරයක් හිමිවනු ඇති බවට පළවන වාර්තා හේතුවෙන්. දෙමළ ජාතික සන්ධානය පවසන්නේ විපක්ෂනායක ධූරය තම පක්ෂයට හිමිවිය යුතු බවයි. එහෙත් විපක්ෂනායක ධුරය නිදහස් පක්ෂයට හිමි විය යුතු බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඊට ප්‍රතිචාර දක්වමින් සඳහන් කළා.

පසුගියදා රැස්වූ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළේ ද විපක්ෂ නායකවරයා තේරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරීමටයි.

මේ වනවිට නිදහස් පක්ෂයේ  සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජේ්‍යෂ්ඨයන් කිහිපදෙනෙකුගේ නම් විපක්ෂ නායක ධූරයට යෝජනා වී ඇති බවට විවිධ මාධ්‍ය වාර්තා පළ වනවා. හිටපු කථානායක චමල් රාජපක්ෂගේ නම ද ඒ අතර වනවා. 1989 වසරේදී මුල් වරට පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඔහු 1994 වසරේදී  කෘෂිකර්ම හා ඉඩම් නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස තේරී පත් වුණා. පසුව වරාය, වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය ධූර හෙබවූ ඔහු කතානායකවරයා ලෙස පත් වීමට පෙර වාරිමාර්ග හා ජල කළමණාකරණ මෙන්ම වරාය සහ ගුවන් සේවා අමාත්‍ය ධූර ද හොබවා තියෙනවා.

විපක්ෂ නායක ධූරයට පත් විය හැකි බවට වාර්තා වන තවත් මන්ත්‍රීවරයෙකු වන්නේ එස්. බී. දිසානායකයි. 1989 වසරේදී මුල්වරට ඔහු පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරයෙකු වශයෙන්. 1994 වසරේදී යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධූරයට පත්වන එස්. බී. දිසානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධූරයේ ද කටයුතු කර තිබෙනවා. 2001 වසරේදී එක්සත් ජාතික පක්ෂයට එක්වූ ඔහු එහි ජාතික සංවිධායකවරයා ලෙසද කටයුතු කළා. 2009 වසරේදී නැවත නිදහස් පක්ෂයට සම්බන්ධ වන එස්. බී. දිසානායක මන්ත්‍රීවරයා මහින්ද රාජපක්ෂ රජයේ උසස් අධ්‍යාපන අමාත්‍ය ධුරයේ කටයුතු කළා. එහෙත් ඔහුට මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකි වුණේ නැහැ.

විපක්ෂ නායක ධුරයට තමන්ට ද සුදුසුකම් ඇති බව නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පසුගිය දා සදහන් කළා. 1994 වසරේදී පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් තේරී පත්වූ ඔහු වසර 33ක් තිස්සේ නිදහස් පක්ෂයේ මතුගම ආසන සංවිධායකවරයා ලෙස කටයුතු කරනවා. ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවා ඇති කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා අවසන් වරට ප්‍රවාහන අමාත්‍ය ධුරය හොබවනු ලැබුවා.

මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධනට ද විපක්ෂ නායක ධුරය හිමි වනු ඇතැයි වාර්තා පළ වී තිබුණා. මහරගම අතුරු මැතිවරණය ජයගනිමින් ඔහු මුල් වරට මහජන එක්සත් පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පිවිසුණේ 1983 වසරේදියි. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා 1994 වසර දක්වා එම පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු කළත් එම වසරේ පැවැති මැතිවරණයෙන් ඔහු පරාජයට පත්වුණා. එහෙත් නැවත වරක් 2000 වසරේ පැවැති මහ මැතිවණය ජය ගෙන පාර්ලිමේන්තුවට පිවිසුණේ පොදුජන එක්සත් පෙරමුණෙන්. එතැන් සිට ඔහු මේ දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අඛණ්ඩව කටයුතු කරනවා. අමාත්‍ය ධුර රැසක් හොබවා ඇති දිනේෂ් ගුණවර්ධන අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සංවිධායක ධුරය ද දරනු ලැබුවා.

කෙසේ වෙතත්, විපක්ෂ නායකවරයා පත් කිරීමේ අවස්ථාව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළේ යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සඳහන් කළා. ජනාධිපති නිල නිවසේ අද පෙරවරුවේ පැවති සන්ධාන පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටි බවයි ඔහු මාධ්‍ය වෙත සදහන් කළේ.

මෙම සාකච්ජාවට නිදහස් සන්ධානය නියෝජනය කරන මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් වාසුදේව නානායක්කාර, දේශ විමුක්ති ජනතා පක්ෂයේ මෙන්ම මහජන පක්ෂයේ නියෝජිතයින් ද එක්ව සිටියා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුව සම්බන්ධයෙන් ගොනු කර ඇති පෙත්සම අද විභාගයට ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡා පිළිබඳව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසුවා.

එහිදී ඔහු කියා සිටියේ එම සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා කවුරුන් ද යන්න ජනාධිපතිවරයා කරුණු හෙළි නොකළ බවයි.

කෙසේ වෙතත්, විපක්ෂ නායක ගැටළුවට හෙට දිනයේදී විසදුම් ලැබෙනු ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කළේ.