Update: කථානායක කරු ජයසූරිය - මහින්ද විපක්ෂයේ පළමු පෙළ දෙවැනි අසුනේ

Tuesday, 01 September 2015 - 7:48

Update%3A+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%9A
8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සභා ගර්භයේදී ආරම්භ වුණා. එහිදී පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත් කර ගැනුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ යෝජනාවෙන් සහ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වාගේ යෝජනා ස්ථීරත්වයෙන්.

නියෝජ්‍ය කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල පත් කර ගත් අතර නියෝජ්‍ය කාරක සභා සභාපති ලෙස දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් පත් කර ගත්තා. මීට අමතරව පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පත් කරන බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉදිරිපෙළ දෙවන අසුනේ වාඩි වී සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.

පාර්ලිමේන්තුවේ නව කථානයකවරයා තෝරා ගැනීමෙන් අනතුරුව පක්ෂ නායකවරුන්ට අදහස් දැක්වීමට අවස්ථාව හිමි වුණා.




10.11 AM :
මේ වන විට පක්ෂ නායකයින් සිය කතාවන් පවත්වමින් සිටි

9.58 AM :
ඔබ තුමාට පැවරී තිබෙන අමුතු පාර්ලිමේන්තුව සංකීර්ණ වන බැවින් ජනතා වුවමනා මත තීන්දු තීරණ ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක කතානායකවරයාගෙන් ඉල්ලීම් කරමින් සිය කතාව පවත්වනු ලබයි.

9.45 AM :
කතානායක ලෙස කරු ජයසුරිය පත්වීම පිලිබඳ කතාව නිමල් සිරිපාල මන්ත්‍රීතුමා විසින් පවත්වනු ලබයි.

9.43 AM :
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාව දැන් පවත්වනු ලබයි. කථානායක ලෙස කරු ජයසුරිය මහතාට අපක්ෂපාතිව කටයුතු කරන ලෙස අගමැති ඉල්ලීමක්ද කරන ලද අතර ඉදිරි වැඩ පිළිබඳව විස්තර කිරීමක් ඔහු විසින් සිදු කරනු ලබයි.

9.41 AM : 
කරු ජයසූරිය මන්ත්‍රීවරයා, කථානායකවරයා ලෙස තේරී පත්වීමෙන් පසු ඔහුගේ අසුන වෙත කැදවාගෙන යාම අග්‍රාමාත්‍යවරයා සහ හිටපු විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් සිදුකළා. කරු ජයසූරිය මන්ත්‍රීවරයා කථානායක ධුරයේ දිවුරුම් ප්‍රතිඥාව ඉන් පසුව ලබාදුන්නා.



තවද මන්ත්‍රීධුර සඳහා මන්ත්‍රීවරුන් කතානායක ඉදිරියේ දිවුරුම් දෙන ලදී.

9.36 AM :
8 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කරු ජයසූරිය පත්වුණා. ඔහුගේ නම සභාවට යෝජනා කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින්. එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා ස්ථීර කරනු ලැබුවා.

9.30 AM :
නව පාර්ලිමේන්තුවේ මංගල සැසිය අද පෙරවරු 9.30ට ආරම්භ කෙරුණු අතර, ඉන්පසු පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක විසින් පාර්ලිමේන්තුව කැදවීමේ ජනාධිපතිවරයාගේ නිවේදනය ප්‍රකාශයට පත් කළා. ඉන් අනතුරුවයි කථානායක තනතුර සදහා මන්ත්‍රීවරයෙකුගේ නම යෝජනා කරන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා දැනුම් දුන්නා

8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය තවත් මිනිත්තු කිහිපයකින් පමණ ආරම්භවීමට නියමිතයි. නව පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ වන්නේ සුවිශේෂ වාර්තා කිහිපයක් ද සමගින්. ඉන් එක් වාර්තාවක් වන්නේ මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතුරෙන් තුන්දෙනෙකු පළාත් තුනක ප්‍රධාන අමාත්‍යවරුන් වීමයි. එම මන්ත්‍රීවරුන් වනුයේ

ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය හරීන් ප්‍රනාන්දු,
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග
වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර

මීට අමතරව වසර 30කට පසු අඹු - සැමි යුවලක් ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. ඒ, දයා ගමගේ සහ අනෝමා ගමගේයි. එකම පවුලේ සහෝදරවරුන් කිහිප දෙනෙනකු ද මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වී සිටිනවා. අර්ජුණ රණතුංග සමඟ ප්‍රසන්න රණතුංග සහ වසන්ත අලූවිහාරේ හා රංජිත් අලූවිහාරේ එම සහෝදරයන්.

මෙවර පාර්ලිමේන්තුවේ තවත් විශේෂත්වයක් වනුයේ ලෝකයේ සිව් වරක් අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ දෙවන තැනැත්තා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට පැමිණීමයි. එමෙන්ම හිටපු විධායක ජනාධිපතිවරයෙකු වන මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණීම ද අද 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරයේ විශේෂත්වයක්. හිටපු ජනාධිපතිවරයා සමඟ ඔහුගේ පුතු නාමල් රාජපක්ෂ ද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතයි. එමෙන්ම අමාත්‍ය රාජිත සේනාරත්න සහ චතුර සේනාරත්න ද මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන පිය - පුතු යුගලයක්.  

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය පත් කිරීම සම්බන්ධයෙන් ද මේ වන විට කතාබහට ලක්ව තිබෙනවා. ඒ අනුව විපක්ෂ නායක ධුරයට මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන, හිටපු කථානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නම් ද යෝජනා වී ඇති බව සදහන්. කෙසේ වුවත් විපක්ෂ නායක ධූරය සම්බන්ධයෙන් කිසිවෙකු නොසිතන තීන්දුවක් අද දිනයේදී ජනාධිපතිවරයා ගනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළා.


8.00 AM : 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිය අදයි

ශ්‍රී ලංකාවේ 8 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය අද උදෑසන 9.30ට ආරම්භ කෙරෙනවා. ස්ථාවර නියෝගවලට නව පාර්ලිමේන්තුවේ කථානායක, නියෝජ්‍ය කථානායක, නියෝජ්‍ය කාරක සභා සභාපති පත් කිරීම අද දිනයේ සිදුකිරීමට නියමිතයි. නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා තෝරා පත් කර ගන්නා තුරු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයේ  ඕනෑම ස්ථානයක අසුන් ගැනීමේ හැකියාව පවතිනවා.

පාර්ලිමේන්තුව ආරම්භයේ අසුන් වෙන් කර ඇත්තේ ජනාධිපති, අගමැති සහ දැනට දිවුරුම් දී ඇති අමාත්‍යවරුන් තිදෙනාට පමණයි.

පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කථානායකවරයෙකු තෝරාගැනීමට නියමිතයි. ඉන් අනතුරුවයි මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ දිවුරුම්දීම සිදු කෙරෙන්නේ. පසුව නියෝජ්‍ය කථානායකවරයෙකු සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයෙකු තෝරාගැනීම සිදුකළ යුතු බවයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා කියා සිටියේ. නැවත පාර්ලිමේන්තුව සවස 3 ට රැස්වන අතර, ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

අද ආරම්භ වන 8 වන පාර්ලිමේන්තුව සඳහා මන්ත්‍රීවරුන් තෝරා ගැනීමට පසුගිය අගෝස්තු 17 වන දා පැවැති මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ලබා ගනිමින් ජයග්‍රහණය හිමි කර ගත්තා. එහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 95ක් හිමි වූ අතර දෙමළ ජාතික සන්ධානට ආසන 16ක් ද ජනතා විමුක්ති පෙරමුණට ආසන 6ක් ද ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සහ ඊ.පී.ඞී.පී. සංවිධානයට එක් ආසනය බැගින් වුණා. කෙසේ වුවත් මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එකඟ වී තිබෙනවා.