දෙමළ සන්ධානය තුළ මතවාදී ගැටුමක්

Sunday, 06 September 2015 - 18:38

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%B8%E0%B6%AD%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
තවත් දින 7 කින් ආරම්භ වන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට සහභාගි වන බව දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් පිරිසක් පවසනවා. කෙසේ වෙතත්, සැසිවාරයට එක්වනවා ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් සඳහන් කළේ.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරය ස්විට්සර්ලන්තයේ - ජිනීවා නුවරදී ලබන 14 වනදා ආරම්භ වන අතර, එය අවසන් වීමට නියමිතව ඇත්තේ ඔක්තෝම්බර් මස 2 වනදායි. මෙවර සැසිවාරය සුවිශේෂී වන්නේ ශ්‍රීර ලංකාවේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ විමර්ශන වාර්තාව ඉදිරිපත් කිරීමට නියමිත වීම හේතුවෙන්.

මානව හිමිකම් සැසිවාරයේ න්‍යාය පත්‍රයට අනුව, ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව සැප්තැම්බර් 30 වනදා විවාදයට ගැනීමට නියමිතයි. එම වාර්තාව මේ මස මැද භාගයේදි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.

වාර්තාව විවාදයට ගැනීමට පෙර එය ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි ප්‍රකාශිකා මහිෂිනී කොලොන්නේ කියා සිටියේ.

මේ අතර, තමන් ඇතුළු නියෝජිතයන් පිරිසක් මෙවර සැසිවාරයට සහභාගි වන බවයි දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී, ටෙලෝ සංවිධානයේ ජාතික සංවිධායක එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. ඒ අනුව, තමන් සමඟ ටෙලෝ සංවිධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන්, පළාත් සභා මන්ත්‍රීනි ආනන්දි ශෂීදරන් ද සැසිවාරයට එක්වන බව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කියා සිටියා.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා සිටීම, ඊට සහභාගි වීමේ අරමුණ බවයි ඔහු සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය, දෙමළ ජාතික සන්ධානයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් වෙත පසුගිය දා හිමි වුණා. තත්ත්වය එසේ තිබියදී ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට නියෝජිතයින් පිරිසක් සහභාගි කරන්නේ දැයි එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, එම්.ඒ. සුමන්දිරන් මන්ත්‍රීවරයාගෙන් අප කළ විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.

ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසි වාරයට සහභාගි වන රජයේ ධුත පිරිස මෙතෙක් නම් කර නැහැ. සැසියේ පළමු දිනට පමණක් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහභාගිවීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේ.