Update: නිශ්ශංක සේනාධිපතිට එරෙහි නඩුව අවසන්

Monday, 07 September 2015 - 12:57

Update%3A+%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%81%E0%B6%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
ගාල්ල වරායේ පාවෙන අවි ගබඩාව සම්බන්ධයෙන් ඇවන්ගාඞ් සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව පැවති නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් අද නියෝග කළා. එමෙන්ම ඔහුට එරෙහිව පනවා තිබූ විදෙස් ගමන් තහනම ද ඉවත් කරන බවයි විනිසුරුවරයා තවදුරටත් දැනුම් දුන්නේ. නීතිපතිවරයාට මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අදහසක් නොමැති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දීම හේතුවෙන් මෙම නඩුව අවසන් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තා.

හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනට ඇප ලබාදීමට එරෙහිව විරෝධතා ඇත්නම් මේ මස 16 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක, නීතිපතිවරයා වෙත අද නියෝග කළා. ඒ, දැනට රිමාන්ඞ් භාරයේ පසුවන සජින් වාස්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද ගොනු කළ පෙත්සමක් අද සලකා බැලූ අවස්ථාවේදීයි. ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 23ක් සාපරාධි සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත සජින් වාස් ගුණවර්ධන හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කෙරුණු හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන තවදුරටත් රෝහලේ 49වන වාට්ටුවේ ප්‍රතිකාර ලබනවා. කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන නඩුව සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය සඳහා දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වාස් ගුණවර්ධන අද පෙරවරුවේ රැගෙන ආ අවස්ථාවේදීයි ඔහු මෙලෙස හදිසියේ රෝගී වී ඇත්තේ. ඒ හේතුවෙන් මෙම නඩුව හෙට දක්වා කල් දැමීමට විනිසුරුවරයා නියෝග කළා.

මේ අතර අධිකරණ කටයුතුවලට බාධා වන අන්දමින් කටයුතු නොකරන ලෙසට දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂවරයා ඇතුළු 03 දෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය අද දැනුම් දුන්නා. අලි රොෂාන් නමැත්තා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණ නියෝග මත පින්නවල අලි අනාථාගාරයට භාරදීමට ගිය අවස්ථාවේදී එම සතුන් භාර ගැනීම එහි නිලධාරීන් ප්‍රතික්ෂේප කර තිබුණා. ඒ පසුගිය 31 වැනිදා.

අධිකරණ නියෝග කඩ කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ අනුර ද සිල්වාට, පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂ එච්.ජී. අබේසිංහට සහ එහි සත්ව පාලක එස්.කේ. රත්නායකට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ අද දින පෙනී සිටින ලෙසට නියෝග කර තිබුණා. ඒ අනුව ඔවුන් තුන්දෙනා අධිකරණයේ පෙනී සිටි අතර, එහි මහේස්ත්‍රාත්වරයා තවදුරටත් කියා සිටියේ අධිකරණයේ සහාය ගැනීමට අවශ්‍ය නම් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ උපදෙස් ගන්නා ලෙසයි. කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් කණගාටුවන බවට අදාල පාර්ශව දන්වා සිටි බව අධිකරණයට කරුණු වාර්තා කළ නිතිපති දෙපාර්තමේන්තු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥවරයා කියා සිටියා. ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කළ විමසීමකදී පින්නවල අලි අනාථාගාරයේ සහකාර අධ්‍යක්ෂවරයා කියා සිටියේ අධිකරණ නියෝග මත අලි පැටවුන් 18 දෙනෙකු පින්නවල රදවා සිටින බවයි. යලිත් මෙම නිළධාරීන් 03 දෙනාට ඔක්තොම්බර් මස 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමට ද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළා.



Update: Monday, 07 September 2015 - 19:03
-------------------------------------------------------

ඇවන්ගාඞ් සිද්ධියට අදාළව එහි සභාපති නිශ්ශංක සේනාධිපතිට එරෙහිව නඩුවක් පවත්වාගෙන යාමට නීතිපතිවරයා අදහස් නොකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ අද කැදවූ අවස්ථාව්දියි. එහිදී නඩුව පවත්වාගෙන යාම අවසන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා නිශ්ශංක සේනාධිපතිට පනවා තිබූ විදෙස් ගමන් තහනමද ඉවත් කරනු ලැබුවා.