Update: මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ නිළවරණය අද

Monday, 07 September 2015 - 13:13

Update%3A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%AF%E0%B7%85%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B7%92%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%85%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ 20 වන දියවඩන නිළමේවරයා තෝරා පත් කර ගැනීමේ නිළවරණය අද පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, ඡන්දය දීමට සුදුසුකම් ලබා ඇති 301 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. මේ වන විටත් ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

ඔහු සඳහන් කළේ නිළවරණය සඳහා අපේක්ෂකයන් නිළ වශයෙන් ඉදිරිපත් විය යුත්තේ ඡන්දය විමසීම සඳහා ගරු සභාව රැස්වීමෙන් අනතුරුව බවයි.

කෙසේ වෙතත්, අද පැවැත්වෙන නිළවරණය සඳහා ඉදිරිපත් වෙතැයි සැලකෙන ප්‍රමුඛ අපේක්ෂකයන් කිහිප දෙනෙකුගෙන් ඡන්ද විමසීම සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය විමසීමක් කළා. එහිදී දියවඩන නිළමේ නිළවරණය සඳහා ඉදිරිපත් වන ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධුරය දැරූ සුදන්ත සේනානායක සදහන් කළේ දියවඩන නිලමේ තනතුරෙන් රටේ සමාජීය සේවයට නායකත්වය දීමට තමන් අපේක්ෂා කරන බවයි.



දියවඩන නිළමේ ධුරය හරහා සමාජගත වී බුද්ධශාසනයට සේවය කිරීම තම අරමුණ වන බව මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේවරයා වශයෙන් කටයුතු කරන නීතිඥ ගයාන් හෂීල හීන්කෙන්ද පවසනවා.



හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී හිටපු දියවඩන නිළමේවරයෙකු වන නෙරංජන් විජේරත්න සදහන් කළේ දළදා මාළිගාව තුළ චිරාගත සිරිත් - විරිත් ආරක්ෂා කිරීම තමන්ගේ මුඛ්‍ය අරමුණ බවයි.



අද පැවැත්වෙන නිළවරණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී දළදා මාළිගාවේ වැඩබල නිළමේවරයා වශයෙන් කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල සදහන් කළේ තමන් මේ දක්වා කළ සේවය ඉදිරියට ගෙන යාම සහ දළදා මාළිගාව ජාත්‍යන්තර ආගමික මධ්‍යස්ථානයක් බවට පත් කිරීම තම අරමුණ බවයි.




Update: Monday, 07 September 2015 - 7.55
..............................................................................

දියවඩන නිළමේ නිළවරණයට තරඟ වදින නිළමේවරු

මහනුවර - ශ්‍රී දළඳා මාලිගාවේ 20 වන දියවඩන නිළමේවරයා තෝරා පත් කර ගැනීමේ නිලවරණය හෙට පස්වරු 1.30 ට මහනුවර බෞද්ධ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ සඳහා අපේක්ෂකයින් සිව් දෙනෙකු ඉදිරිපත්ව සිටින අතර, ඡන්දය ලබාදීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව 301 ක්.

ශ්‍රී දළඳා මාලිගාවේ වැඩබලන නිලමේවරයා ලෙස දැනට කටයුතු කරන ප්‍රදීප් නිලංග දෑල, හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ නීතීඥ ගයාන් හෂිල හීන්කෙන්ද, සහ ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිළමේ ධුරය දැරූ සුදත්ත සේනානායක, දියවඩනේ නිලමේ ධුරය සඳහා තරඟ කරනවා.

ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සංඛ්‍යාව 150 ක්. ඊට අමතරව, බස්නායක නිළමේවරුන් 31 දෙනෙකු, දිස්ත්‍රික්ක 16 ක ප්‍රාදේශීය ලේකම්වරු 120 දෙනෙකු ද ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා ඇති බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව කියා සිටියේ.