Update: බස්නාහිර, වයඹ මහ ඇමතිවරුන් දිවුරුම් දෙයි

Tuesday, 08 September 2015 - 8:15

Update%3A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%BB%2C+%E0%B7%80%E0%B6%BA%E0%B6%B9+%E0%B6%B8%E0%B7%84+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බස්නාහිර පළාත් සභාවේ සහ වයඹ පළාත් සභාවේ නව ප්‍රධාන අමාත්‍යවරුන් ලෙස ඉසුරු දේවප්‍රිය සහ ධර්මසිරි දසනායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ අද දිවුරුම් දුන්නා. ජනාධිපති නිළ නිවසේදී අදාළ පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව ඔවුන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ. පසුගිය මහ මැතිවරණය ජයග්‍රහණය කළ බස්නාහිර පළාත් සභාවේ එවකට මහඇමතිව සිටි ප්‍රසන්න රණතුංග සහ වයඹ පළාත් සභාවේ එවකට මහ ඇමති ලෙස සිටි දයාසිරි ජයසේකර පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමඟ ඇති වූ පුරප්පාඩු සඳහායි අද දින මෙම පත්වීම් සිදුකර ඇත්තේ.

ප්‍රධාන අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් පසු බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය පළාත් සභා කාර්යාලයේදී සිය ධුරයේ වැඩ භාර ගත් අතර, පසුව අද උදෑසන ආරම්භ වූ බස්නාහිර පළාත් සභා සභාවාරයට ද සහභාගි වුණා.

මේ අතර, වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ධර්මසිරි දසනායක අද දින පැවති වයඹ පළාත් සභා වාරයට සහභාගි වුණේ නැහැ. කෙසේ වුවත්, තමන් ධුරයේ වැඩ භාර ගැනීමෙන් පසු ලබන 22 වන දා පැවැත්වෙන මීළඟ සභා වාරයට සහභාගි වන බව ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

පළාත් සභා පනතට අනුව යම් පළාත් සභාවක ප්‍රධාන අමාත්‍ය ධුරය පුරප්පාඩු වුවහොත් එහි අමාත්‍ය මණ්ඩලය ද අහෝසි වනවා. ඒ අනුව වයඹ සහ බස්නාහිර පළාත් සභා සඳහා මෙන්ම ඉදිරියේදී ඌව පළාත් සභාවට ද නව අමාත්‍ය මණ්ඩල පත් කෙරෙනු ඇති.

බස්නාහිර පළාත් සභාවේ ප්‍රසන්න රණතුංග ප්‍රධාන අමාත්‍ය ධුරය දරණ විට ඔහු සමඟ රංජිත් සෝමවංශ, ගාමිණී තිලකසිරි, නිමල් ලංසා සහ උපාලි කොඩිකාර පළාත් අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වුණා. ඒ අතුරෙන් පසුගිය මහ මැතිවරණයේදී ප්‍රසන්න රණතුංග සහ නිමල් ලංසා පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

එමෙන්ම වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරය දැරූ දයාසිරි ජයසේකර සමඟ ගුණදාස දෙහිගම, ඞී.බී. හේරත්, සනත් නිශාන්ත පෙරේරා, සන්ධ්‍යා රාජපක්ෂ එම පළාත් සභාවේ අමාත්‍ය මණ්ඩලයට ඇතුළත්ව සිටියා. ඒ අතුරෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණේ හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර සහ සනත් නිශාන්ත පෙරේරායි.

මේ අතර, වයඹ පළාත් සභාව අද උදෑසන රැස්වූ අතර එහිදී සභාව පවත්වාගෙන යාම සඳහා වැඩබලන සභාපතිවරයෙකු ද තෝරා පත් කර ගත්තා. ඒ, මීට පෙර සභාපති ධුරය දැරූ ධර්මසිරි දසනායක පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වීමත්, නියෝජ්‍ය සභාපතිවරයා රෝහල්ගත වීම නිසා අද සභාවට නොපැමිණීම හේතුවෙන්. වයඹ පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ ශමල් සෙනරත් තෝරා පත් කරගෙන තිබෙනවා.


මේ අතර, මධ්‍යම පළාත් සභාවේ නව සභාපතිවරයා ලෙස අද එල්.ටී. විමලසිරි තෝරා පත් කරගෙන තිබෙනවා. ඒ, මධ්‍යම පළාත් සභාවේ සභාපති ධුරය දැරූ මහින්ද අබේකෝන් බරපතල වැඩසහිත වසර දෙක හමාරක සිර දඬුවමක් නියම වීමත් සමඟ ඇති වූ පුරප්පාඩුව හේතුවෙන්.

එමෙන්ම මධ්‍යම පළාත් සභාව නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්වීම නිසා ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහා නව මන්ත්‍රීවරුන් 3 දෙනෙකු අද දිනයේ දිවුරුම් දීමට නියමිතව තිබුණා.

මේ අතර, ඌව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හරීන් ප්‍රනාන්දු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තුවට තේරී පත්වීමත් සමඟම එම පළාත් සභාවට ද නව ප්‍රධාන අමාත්‍යවරයෙකු පත් කිරීමට නියමිතව තිබෙනවා.


Update: Tuesday, 08 September 2015 - 8.30
.................................................................................

බස්නාහිර, වයඹ මහඇමතිවරුන් තවමත් නෑ - ඇමති මණ්ඩලයත් අක්‍රිය වෙයි

ප්‍රධාන අමාත්‍ය ධුර පුරප්පාඩු වී ඇති බස්නාහිර සහ වයඹ පළාත් සභාවලට නව මහඇමතිවරුන් මෙතෙක් පත් කර නැහැ. එම පළාත් සභාවල මෙන්ම ඌව පළාත් සභාවේ ද මහඇමතිවරුන් පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. බස්නාහිර සහ වයඹ පළාත් සභා අද රැස්වීමට නියමිතව තිබුණ ද එම පළාත්සභාවලට මහඇමතිවරුන් පත් නොකිරීම හේතුවෙන් මතුව ඇත්තේ ගැටළුකාරී තත්ත්වයක්. කෙසේ නමුත්, බස්නාහිර සහ වයඹ මහඇමතිවරුන් නම් කිරීම අද උදෑසන එම පළාත් සභා රැස්වීමට පෙර ජනාධිපතිවරයා විසින් දැනුම් දෙනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ. පළාත් සභා නියෝජිතයන් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ මහඇමතිවරුන් පත්නොකිරීම හේතුවෙන් ඒවායේ අමාත්‍ය මණ්ඩල ද මේ වන විට අක්‍රිය වී ඇති බවයි.  

මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ ඊයේ පස්වරුවේ සාකච්ඡාවක ද නිරත වුණා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ද මේ වන තුරු අදාළ පළාත් සභා සඳහා මහඇමතිවරුන් පත් කර නොමැති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.