UPDATE: ප්‍රදීප් නිලංග දෑල, යළිත් දියවඩන නිලමේ ධුරයට

Tuesday, 08 September 2015 - 17:03

UPDATE%3A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%82%E0%B6%9C+%E0%B6%AF%E0%B7%91%E0%B6%BD%2C+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%A9%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7
මහනුවර - ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයා ලෙස හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල අද (08) යළි තේරී පත්වුණා. ඒ  මහනුවර බෞද්ධ මන්දිරයේ පැවති ඊට  අදාළ නිලවරණයේදියි. 301 දෙනෙකු මීට අදාළව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබුණත් ඡන්දය ප්‍රකාශ කර තිබුණේ 294 දෙනෙකු පමණයි.

මල්වතු - අස්ගිරි මහ නාහිමිවරුන් ඇතුලූව ඉපැරණි උඩරට රාජධානියට අයත් දිස්ත්‍රික්ක 16ක විහාරාධිපති හිමිවරුන් සහ ගිහි භාරකරුවන් 150 දෙනෙක්, පිටිසර දේවාල බස්නායක නිලමේවරුන් 31 දෙනෙකු හා ප්‍රාදේශීය ලේකම්වරුන් 120 දෙනෙකු දියවඩන නිලමේ තේරීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ අය අතරට අයත්.  

අද පැවති ඡන්ද විමසීමේදී ප්‍රදීප් නිලංග දෑල ඡන්ද 205 ක් ලබාගත් අතර හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න ලබාගත්තේ ඡන්ද 31 පමණයි.

එමෙන්ම මහනුවර ශ්‍රී  නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හෂිල හීන්කෙන්ද ඡන්ද 53ක් ලබාගත්තා. ඡන්ද 5ක් ප්‍රතික්ෂේප වී තිබුණේ නිවැරදි උපදෙස් පිළි නොපැදීම හේතුවෙන්.


දියවඩන නිලමේ

දියවඩන නිලමේ තනතුර පුරාණ රජවරු විසින් පත්කරනු ලැබූවකි. එය බ්‍රිතාන්‍ය  පාලකයන් විසින් වැඩවසම් රාජකාරි ක්‍රමය වෙනස් කොට ඇති කරන ලද ඡන්දයකින් තෝරා පත්කර ගන්නා තනතුරකට පරිවර්තනය කර ඇත.


ශ්‍රී  දළදා මාලිගාවේ චිරාගත සාම්ප්‍රදයික පුදසිරිත් ආරක්ෂා කොට රැකගැනීමට අදාළ සේවා සම්පාදනය හා නිශ්චල චංචල දේපල ඇතුළු සාමාන්‍ය පරිපාලන සේවා ඉටුකිරීමෙහිලා පවතින ගිහි නිල පංගු තුළ සෑම අතින්ම ප්‍රමුඛතාව  හිමිවන්නේ දියවඩන නිලමේ වරයාටයි.

1931 වසරට අදාළ 19 වන ආඥා පනත යටතේ දියවඩන නිලමේවරයා පත්කිරීම සිදු කෙරේ.

කන්ද උඩරට ඉංග්‍රීසි පාලනයට පත්වන විට 1814 සිට 1824 දක්වා දියවඩන නිලමේ තනතුර කරවූයේ කපුවත්තේ අදිකාරම් නිලමේතුමාය. 2005 ජූලි මස 01 වන දින පත් වූ ප්‍රදීප් නිලංග දෑල මෙවරද එම තනතුරට තේරී පත්ව තිබේ.


01 කපුවත්තේ අධිකාරම් නිලමේ 1814 – 1824 
02 දෙහිගම ලොකුබණ්ඩා නිලමේ 1824 – 1827



03 කුඩා මොල්ලිගොඩ නිලමේ  1827 – 1828                               
04 කුඩා දෙහිගම නිලමේ 1828 – 1835




05 මුල්ලේගම අධිකාරම් නිලමේ 1835 – 1842                        
06 දුල්ලෑව අධිකාරම් නිලමේ  1842 – 1848




07 ලොකුබණ්ඩා දෙහිගම නිලමේ 1848 – 1862                           
08 කුඩා මුදියන්සේ ගිරාගම නිලමේ 1882 – 1897




09 සෙනෙවිරත්න රත්වත්තේ නිලමේ   1897 – 1901                     
10 කුඩාබණ්ඩාර නුගවෙල නිලමේ    1901 – 1916





11 පුංචි බණ්ඩා නුගවෙල නිලමේ    1916 – 1937                       
12 ටිකිරි බණ්ඩා රත්වත්තේ නිලමේ    1937 – 1947




13 කුඩා බණ්ඩා නුගවෙල නිලමේ    1947 – 1961                        
14 හැරිස් ලියුකේ රත්වත්තේ නිලමේ    1961 – 1964




15 හීන් බණ්ඩා උඩුරාවන නිලමේ   1964 – 1974                           
16 වෛද්‍ය නිස්සංක පරාක්‍රම විජේරත්න නිලමේ    1974 – 1985



17 නෙරංජන් විජේරත්න නිලමේ   1985 – 2005                         
18 ප්‍රදීප් නිලංග දෑල නිලමේ   2005 සිට



වසර 10කට වරක් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා පත්කරගැනීම සඳහා නිලවරණයක් පවත්වනු ලබනවා.

මෙවර නිලවරණය සඳහා අපේක්ෂකයන් හයදෙනෙකු ඉදිරිපත්ව සිටි අතර, වැඩබලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, හිටපු දියවඩන නිලමේවරයෙකු වන නෙරංජන් විජේරත්න, මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිළමේ ගයාන් හෂිල හීන්කෙන්ද, සහ ඇම්බැක්ක කතරගම දේවාලයේ බස්නායක නිළමේ සුදන්ත සේනානායක මෙන්ම දළදා මාළිගාවේ පරිපාලන ලේකම්වරයෙකුගේ පුත්‍රයෙකු වන චමිල කෝණාර සහ තරිඳු කෞෂාල් දෑල යන අය ඊට ඇතුළත්.

ඡන්දය ප්‍රකාශ කිරීමට ප්‍රථම එයට ඉදිරිපත්වන අපේක්ෂකයින්ගේ නම් යෝජනා කර සම්මත කිරීම සාම්ප්‍රදායිකව සිදුවනවා. ඒ අනුව ප්‍රථමයෙන් හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල, නෙරංජන් විජේරත්නගේ නම් යෝජනා සම්මතවීම සිදුවුණා. ඊට අමතරව මහනුවර ශ්‍රී  නාථ දේවාලයේ බස්නායක නිලමේ ගයාන් හීන්කෙන්ද සහ තරිඳු කෞෂාල් දෑල ගේ ද නම් යෝජනාවී සම්මත වුණා.

එහෙත් දියවඩන නිලමේ තනතුර සඳහා තරඟ වැදීමට අපේක්ෂාවෙන් සිටි චමිල කෝණාර සහ ඇම්බැක්ක - කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායක යන අයගේ නම් යෝජනා වුවත් ස්ථිර වීමක් සිදුවුණේ නැහැ. මේ හේතුවෙන් ඔවුන්ට නිලවරණය සඳහා තරඟ වැදීමට අවස්ථාව ගිලිහී ගියා. පසුව තරිඳු කෞෂල්‍ය දෑලද විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් නිලවරණය පැවැත්වීමට පෙර  ඉවත්වුණා. ඒ අනුව තරඟය පැවතුනේ අපේක්ෂකයන් තුන්දෙනෙකු අතරයි.

කෙසේ වෙතත් නම යෝජනා වුවත් ස්ථීර වීමක් සිදු නොවීම නිසා තරඟ වැදීමට අවස්ථාව ගිලිහී ගිය ඇම්බැක්කේ කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේ සුදන්ත සේනානායක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මුදල් සහ බලපෑම් මත තමන්ට මෙම අවස්ථාව අහිමිව ගිය බවයි.

ඡන්ද ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ දියඩන නිලමේ තරඟයට ඉදිරිපත්වූ හිටපු දියවඩන නිලමේවරයෙකු වූ  නෙරංජන් විජේරත්න ද ප්‍රකාශ කළේ මෙය විවිධ බලපෑම් මත සිදුවූ නිලවරණයක් බවයි.