ව්‍යවස්ථා සභාවට නිමල් සිරිපාලගේ නමත් ?

Friday, 11 September 2015 - 12:43

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%3F
ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මන්ත්‍රීවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවය මත පත් කරන නියෝජිතයන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස නම් කර තිබෙනවා. කෙසේ වෙතත් මෙම සභාවට අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයා ලෙස දැනටමත් අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ නම් කර අවසන්. ජනාධිපතිවරයා අදාල නම් කිරීම් වෙනුවෙන් සිය අනුමැතිය ලබා දිය යුතු වනවා.

සිවිල් සංවිධාන නියෝජිතයන් නොමැතිව 07 වන පාර්ලිමේන්තුව අවස්ථාවේදී පත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වුණා. කතානායක කරූ ජයසූරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ සහ පාඨලී චම්පික රණවක මෙන්ම ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න ඊයේ මෙම රැස්වීමට එක්ව සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සාමාජිකයන් දස දෙනෙකුගෙන් සමන්විත වන අතර, කතානායකවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා මේ සඳහා නිලබලයෙන් පත්වනවා. අගමැතිවරයා සහ විපක්ෂනායකවරයාගේ එකඟතාවයෙන් තවත් නියෝජිතයන් දෙදෙනෙකු මෙම සභාව සඳහා නම් කරනු ඇති. එමෙන්ම සිවිල් සංවිධාන නියෝජිතයන් තිදෙනෙකු ද මෙම සභාව නියෝජනය කරනවා. මෙම සභාවේ අනෙත් සාමාජිකයා පත් කරන්නේ අගමැතිවරයා සහ විපක්ෂනායකවරයා නියෝජනය නොකරන පක්ෂයකින්. ඒ අනුව 08 වන පාර්ලිමේන්තුව සඳහා පත් කෙරෙන නව ව්‍යවස්ථා සභාවේ අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා නියෝජනය නොකරන පක්ෂවල නියෝජිතයා පත් කිරීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමිවනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ. එම නියෝජිතයා ලෙස බොහෝ දුරට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පත්වනු ඇති බව එම ආරංචි මාර්ග තවදුරටත් ප්‍රකාශ කළා.