මංගල 13 වනදා ජගත් මානව හිමිකම් කොමසාරිස් හමුවේ

Friday, 11 September 2015 - 12:48

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+13+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
මෙවර ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව ප්‍රකාශයට පත් කෙරුණ ද එයින් මෙරටට අහිතකර ක්‍රියාමාර්ගවලට මුහුණදීමේ අවදානමක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එහි ප්‍රකාශිකා මහේෂිනී කොලොන්න හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව ලබන 30 වනදා ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එහි නිර්දේශිත කරුණු අනුව ක්‍රියාමාර්ග ගනු ලබන්නේ සම්මුතියකින්. මේ වනවිට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මතය සුබවාදී තත්ත්වයක පවතිනවා. පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාවේ දේශීය පරීක්ෂණ යාන්ත්‍රණයට සහය පළ කිරීමේ යෝජනාවක් ද සැසිවාරය වෙත ඉදිරිපත් කරන බවයි.

ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේ ඉහළ පෙලේ සාකච්ඡා වාරය සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහභාගි වනවා. ලබන 14 වනදා එම සාකච්ඡා පැවැත්වෙන අතර සැප්තැම්බර් 13 වනදා ජිනීවා නුවරදී විදේශ කටයුතු අමාත්‍යවරයා ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු ද මුණ ගැසීමට නියමිතයි. ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු අද ජීනිවා නුවර බලා පිටත්ව යනවා.

විදේශ කටයුතු අමාත්‍යවරයා ජිනීවා සාකච්ඡාවෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ ඉන්දීය චාරිකාවට එක්වීම සඳහා නවදිල්ලිය බලා පිටත්ව යනු ඇති. අධිකරණ අමාත්‍යවරයා සහ නැගෙනහිර ආණ්ඩුකාරවරයා ලබන අඟහරුවාදා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මහේෂිනී කොලොන්න වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, මෙරට යුද්ධයේදී සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා දෙමළ සන්ධානය ආරම්භ කර ඇති පාගමන අද අලිමංකඩින් නැවතත් ගමන් ආරම්භ කළා. මෙම පාගමනට සහභාගි වන උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන ආනන්දී ශෂීධරන් සහ එම්.කේ සිවාජිලිංගම් මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීමට අපේක්ෂා කරන බව සඳහන්. ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා උතුරු පළාත් සභාව සම්මත කර ගත් යෝජනාවේ පිටපතක් ද ඔවුන් එහි රැගෙන යාමට බලාපොරොත්තු වන බවයි උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් කියා සිටියේ.