ඊයේ සහ අද 10කගේ දිවි අහිමිවූයේ අපරීක්ෂාකාරි රිය ධාවනයෙන්

Friday, 11 September 2015 - 13:27

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%AF+10%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව - මල්වත්ත මංසන්ධියේදී අද (11) උදෑසන සිදුවු රිය අනතුරකින් අඹුසැමි යුවලක් ජීවීතක්ෂයට පත්වුණා. මේ අනුව ඊයේ (10) සහ අද (11) දිනයේ මේ දක්වා වාර්තා වූ මාරක රිය අනතුරුවලින් පුද්ගලයන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි කියා සිටියේ.

නිට්ටඹුව - මල්වත්ත මංසන්ධියේ අද සිදුවු රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණේ ආණමඩුව - මාරස්සන ප්‍රදේශයේ පදිංචිව සිටි  වයස අවුරුදු 20 ක් සහ 22 ක් වන අඹුසැමි යුවලක්. ඔවුන් මහනුවර දෙසින්  කොළඹ දෙසට ත්‍රී රෝද රථයකින් පැමිණෙමින් සිටියදී,  මහනුවර දෙසට ධාවනය වූ කාර්යාල සේවකයින් ප්‍රවාහනය කරන පුද්ගලික බස් රථයක මුහුණට මුහුණලා ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

එමෙන්ම, ඊයේ රාත්‍රියේ ගල්නෑව - තඹුත්තේගම මාර්ගයේ 27 කණුව අසලදී සිදුවු අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියකින් ගමන්ගත් තරුණයන් තුන් දෙනෙක්. අවුරුදු 17, 18 සහ 21 යන වයස් කාණ්ඩවල පසුවන මෙම තරුණයන් තුන්දෙනා පැමිණි යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුර සිදුව තිබුණා. අනතුර සිදුවන අවස්ථාවේදී තරුණයන් දෙදෙනෙකු ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සිට ඇති අතර අයෙකු ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සිට නැහැ. මොවුන් පොලිස් අණ නොතකා අධික වේගයෙන් යතුරුපැදිය ධාවනය කිරීම හේතුවෙන් අනතුර සිදුව  තිබෙනවා.

ඊයේ පෙරවරුවේ අනෙක් මාරක රිය අනතුර වාර්තා වුණේ මිනුවන්ගොඩ - යාගොඩමුල්ල ප්‍රදේශයෙන්. එහිදී ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ තවත් 05 දෙනෙකු තවමත් ගම්පහ මහ රෝහලේ ප්‍රතිකාර ලබනවා.

මෙම අනතුරු තුනටම හේතුව අන්තරාකාරී ලෙස සහ අධික වේගයෙන් රිය පැදවීම බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි ප්‍රකාශ කළේ.