ඇමති මංගල අද ජගත් මානව හිමිකම් කොමසාරිස් හමුවේ

Sunday, 13 September 2015 - 8:03

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු අද (13) මුණ ගැසෙනවා. එහිදී ඔහු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් මණ්ඩලය සැකසූ වාර්තාව පිළිබඳවද සාකච්ඡා කරනු ඇති.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු පෙරේදා ජිනීවා බලා ගියේ මානව හිමිකම් මණ්ඩල සැසිවාරයට සහභාගිවීම සඳහායී. එහි හෙට පැවැත්වෙන ආරම්භක සැසියේ ඉහළ පෙලේ සාකච්ඡා  සඳහා විදේශ කටයුතු අමාත්‍යවරයා සහභාගිවීමට නියමිතයි. එහිදී ඔහු කතාවක්ද පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහේෂිනි කොලොන්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මේ අතර, ජගත් මානව හිමිකම් මණ්ඩලය මෙරට යුද්ධයේදී සිදුවු බව කියන මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් සැකසූ වාර්තාවේ පිටපතක් ලක් රජය වෙත භාර දී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. ඉන්දියාවේ හින්දු පුවත්පත ඇතුළු මාධ්‍ය වාර්තා කළ පරිදි එම වාර්තාවට ප්‍රතිචාර දැක්වීම සඳහා ජගත් මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාවට දින 05ක කාලයක් ලබාදී තිබෙනවා. එලෙස ඉදිරිපත් කරන ප්‍රතිචාරයන්ද සැප්තැම්බර් 30 වනදා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කෙරෙන මානව හිමිකම් මණ්ඩලයේ අවසන් වාර්තාවට ඇතුළත් කෙරෙනු ඇති.

ජගත් මානව හිමිකම් මණ්ඩල වාර්තාවේ ඇතුළත් කරුණු මෙතෙක් හෙළිදරව් වී නොමැති අතර, වගවීමේ ක්‍රියාවලිය පිළිබඳ මානව හිමිකම් මණ්ඩල නිර්දේශ සඳහා ප්‍රතිචාර දැක්වීමේදී පසුගිය රජයන් දැක්වු දුර්වලතාද ඊට ඇතුළත් වන බව විශ්වාස කෙරෙන්නේ යැයි හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.

ජගත් මානව හිමිකම් මණ්ඩලය පසුගිය මාර්තු මාසයේ පැවති ජිනීවා මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී සම්මත කරගත් යෝජනාවට අනුවයි ශ්‍රී  ලංකාව පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වූයේ. ෆින්ලන්තයේ හිටපු ජනාධිපති නොබෙල් ත්‍යාගලාභී මාර්ටි අතිසාරී, නවසීලන්තයේ හිටපු මහාධිකරණ විනිසුරුවරියක වන සිල්වියා කාට්රයිට් සහ පාකිස්තාන මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති අස්මා ජහන්ගීර් මෙම වාර්තාව සකස් කරනු ලැබුවා. එය මේ වසරේ මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබූ අතර, ශ්‍රී ලංකාවේ ඇතිවු නව පෙරළියත් සමඟයි එය ප්‍රකාශයට පත්කිරීම කල්දැමීමට ජගත් මානව හිමිකම් මණ්ඩලය පියවර ගත්තේ.


ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව  රජයට භාර දී ඇති බව ඉන්දියාවේ ‘ද හින්දු’ පුවත්පත ඊයේ (12) වාර්තා කළා.