TNA ජිනීවා හි දී ලෝක දෙමළ සංසදය හමුවෙයි

Sunday, 13 September 2015 - 13:23

TNA++%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%93%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B7%92+%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%85+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B6%AF%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 13 වන සැසිවාරය ස්විට්සරලන්තයේ ජීනිවාහිදී හෙට ආරම්භ වනවා. එහි ආරම්භක සැසියේ න්‍යාය පත්‍රය මේ වනවිට මානව හිමිකම් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කොට අවසන්. ඒ අනුව, ජිනීවා වේලාවෙන් හෙට (14) පෙරවරු 9ට ආරම්භ වන සැසිවාරයේදී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරනු ඇති. ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් අනතුරුව ජිනීවා වේලාවෙන් පෙරවරු 11.40 ට යෙදී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ දේශනයයි.

මේ අතර, ජගත් මානව හිමිකම් මණ්ඩලය මගින් සකස් කළ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා. ඒ සඳහා ලක් රජය දක්වන ප්‍රතිචාර මානව හිමිකම් මණ්ඩලයේදී ලබන 30 වනදා ඉදිරිපත් කෙරෙන අවසන් වාර්තාවට ඇතුළත් කෙරෙනු ඇති.

ජීනිවා බලා පිටත්ව ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමුවීමට නියමිත බව ද වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා සහ පක්ෂයට සම්බන්ධ නියෝජිත පිරිසක් මෙම හමුවට සහභාගි වීමට නියමිතයි.

මේ අතර, දේශීය පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරමින් උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ සිවාජිලිංගම් සහ ආනන්දී ශෂීධරන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළ පාගමන අද සිව් වන දිනටත් ක්‍රියාත්මකයි. මේ වනවිට පාගමනේ නිරත පිරිස යාපනය - කයිතඩි ප්‍රදේශයට ළඟා වී තිබෙනවා. හෙට මෙම පාගමන යාපනය  - නල්ලූර් ප්‍රදේශයෙන් අවසන් කිරීමට නියමිතයි.

උතුරු පළාත් සභා මන්ත්‍රීවරුන් වන එම්.කේ.සිවාජිලිංගම් සහ ආනන්දී ශෂීධරන් ඇතුළු පිරිසක් ජීනීවා මානව හිමිකම් සැසිවාරයට සහභාගි වීම සඳහා ලබන 20 වනදා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.