Update : ජගත් මානව හිමිකම් සැසිවාරය ඇරඹේ

Monday, 14 September 2015 - 9:02

Update+%3A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 12 යි 30 ට පමණ ආරම්භ වූවා. විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සැසිවාරය ඇමතීමට නියමිතව ඇත්තේ පස්වරු 3 ට පමණයි.

ඒ සඳහා මිනිත්තු 10ක  කාලයක් අමාත්‍යවරයාට ලැබී ඇති අතර, මෙරට මානව හිමිකම් තත්ත්වය පිළිබඳව ඔහු මානව හිමිකම් සැසිවාරයට කරුණු පැහැදිළි කරනු ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

මානව හිමිකම් කවුන්සිලයේ 30 වන සැසිවාරයට සහභාගිවීම සඳහා ජිනීවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ඔස්ටින් ප්‍රනාන්දු ඇතුලූ ධූත පිරිස ඊයේ ජගත් මානව හිිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු හමුවී සාකච්ඡාවක නිරතවුණා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව පිළිබඳවද කරුණු හුවමාරු වී ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මානව හිමිකම් කවුන්සිලය, මෙරට සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාවේ පිටපතක් පෙරේදා දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.  ඊට ප්‍රතිචාර දැක්වීම සඳහා දින 5 ක කාලයක් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා.

මේ අතර දේශීය පරීක්ෂණයක් ප්‍රතික්ෂේප කරමින් උතුර පළාත් සභා මන්ත්‍රිවරුන් වන එම්.කේ. සිවාජිලිංගම් සහ ආනන්දි ශෂිදරන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පා ගමන අවසන් දිනට අද ආරම්භ වූයේ යාපනය - කයිතඩි හි පිහිටි උතුර පළාත් ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටින්. ඊට දෙමළ සන්ධානය නියෝජනය කරන ධර්මලිංගම් සිද්ධාර්ථන්ද එක්ව සිටින බව පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළා.

පා ගමන නල්ලූර් කෝවිල ඉදිරිපිටින් අද පස්වරුවේදී නිමාවීමට නියමිත අතර, ඊට පෙර ජගත් සංවිධානයේ යාපනය කාර්යාලයට සහ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් කාර්යාලයට සන්දේශයක්ද භාරදීමට සැළසුම් කර ඇති බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ අතර මෙරට ආරක්ෂක හමුදා සාමාජිකයන් නිරායුධ දෙමළ ජනතාව ඝාතනය කළ බව පවසමින් බ්‍රිතාන්‍ය චැනල් ෆෝ මගින් විකාශය කළ නෝ ෆයර් සෝන් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ කාන්තාවකට මැලේසියානු රජය විසින් එරට අධිකරණයේ නඩු පවරා තිබෙනවා. මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන ඇයට එල්ලවී ඇති චෝදනාව වන්නේ මැලේසියානු රජයේ අවසරයකින් තොරව අදාළ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමයි.



Monday, 14 September 2015 - 9:02
...................................................................

ජගත් මානව හිමිකම් සැසිවාරය අද ඇරඹේ


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ 30 වන සැසිවාරය ස්විට්සර්ලන්තයේ ජීනිවාහිදී අද ආරම්භ වනවා. ඊට සහභාගිවීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු ඇතුළු නියෝජිතයින් පිරිසක් ජිනිවා නුවරට ගොස් තිබෙනවා. සැසි වාරය ආරම්භ කිරීමට පෙර විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් කුමරු හමුවී සාකච්ඡා කළා. එහිදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙවර මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිත වාර්තාව මෙන්ම මෙරට මානව හිමිකම් වර්ධනයට ගෙන ඇති පියවර පිළිබඳව ද සාකච්ඡා කෙරුණු බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.







ජිනිවා මානව හිමිකම් ආරම්භක සැසියේ න්‍යාය පත්‍රය මේ වනවිට මානව හිමිකම් මණ්ඩලය මගින් ප්‍රකාශයට පත් කොට අවසන්. ඒ අනුව, ජිනීවා වේලාවෙන් අද පෙරවරු 9ට ආරම්භ වන සැසිවාරයේදී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මහකොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු විසින් ඉදිරිපත් කරනු ඇති. ඔහුගේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජිනීවා වේලාවෙන් පෙරවරු 11.40 ට යෙදී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීරගේ දේශනයයි.

ශ්‍රී ලංකාවේ සිදුවූ බව පැවසෙන යුද අපරාධ සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ලබන 30වනදා නිළ වශයෙන් මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අදාළ වාර්තාව සකස් කිරීමට යෝජනාව ඉදිරිපත් වුණේ පසුගිය වසරේ මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් සැසි වාරයේදියි.

ඒ අනුව 2002 වසරේ සිට 2011 වසරේ නොවැම්බර් දක්වා කාලය මෙම වාර්තාවෙන් සලකා බැලෙනවා. අදාළ වාර්තාව පසුගිය වසරේ මානව හිමිකම් සැසි වාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් මෙරට පැවැති දේශපාලන වාතාවරණය හමුවේ මේ වසරේ මානව හිමිකම් සැසි වාරයට කල් තැබුණා.

ජගත් මානව හිමිකම් මණ්ඩලය මගින් සකස් කළ ශ්‍රී ලංකාව පිළිබඳ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලැබී ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා. ඒ සඳහා ලක් රජය දක්වන ප්‍රතිචාර මානව හිමිකම් මණ්ඩලයේදී ලබන 30 වනදා ඉදිරිපත් කෙරෙන අවසන් වාර්තාවට ඇතුළත් කෙරෙනු ඇති.

ජීනිවා බලා පිටත්ව ගොස් සිටින දෙමළ ජාතික සන්ධානයේ නියෝජිත පිරිස ලෝක දෙමළ සංසදයේ නියෝජිතයන් හමුවීමට නියමිත බව ද වාර්තා වනවා. එහිදී ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ මානව හිමිකම් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.