ජගත් මානව හිමිකම් කොමසාරිස්ට ලක් රජයෙන් පිළිතුරු

Thursday, 17 September 2015 - 8:28

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී  ලංකාව සම්බන්ධයෙන් ඊයේ (16) ඉදිරිපත් කළ වාර්තාව මානව හිමිකම් පිළිබඳ පරීක්ෂණයක් මිස අපරාධ විමර්ශනයක් නොවන බව ශ්‍රී ලංකා රජය ඊට ප්‍රතිචාර දක්වමින් පෙන්වා දෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වමින් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයාට සහ ඔහුගේ කාර්යාලයට ලිපියක් ද යොමුකර ඇති බව සඳහන්. එම ලිපියේ දැක්වෙන්නේ මෙම වාර්තාවේ ඇතුළත් කරුණු සහ නිර්දේශ යෝජිත නව ආයතනවලට සහ අදාළ පාර්ශවයන්ගේ අවධානයට යොමු කරන බවයි.

එමෙන්ම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍ය, නීති ප්‍රතිසංස්කරණ හා ප්‍රතිසන්ධානය ඇති කිරීමට ජනවාරි 8 වනදා බලයට පත්වූ නව රජය ගත් ක්‍රියාමාර්ග මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ඇගයීමට ලක්වීම සතුටට කරුණක් ද බවයි ලක් රජය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නිසා ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිචෝදකයන් හෙවත් චෝදනා නගන්නන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙස ජගත් මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට නිර්දේශ කළා. ජගත් මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් අල් හුසේන් කුමරු මෙම නිර්දේශය කළේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන වාර්තාව ඊයේ එම කොමිසමේ සැසිවාරයට ඉදිරිපත් කරමින්.

2002 - 2011 කාලය අතර ශ්‍රී ලංකාවේ යුද ගැටුම් තුළ අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක්වන වඩාත් බරපතල ආකාරයේ මානව හිමිකම් උල්ලංඝනය වීම් සිදුව ඇති බව එහි සඳහන්. මෙහිදී පැවති රජය සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය යන දෙපාර්ශවයටම චෝදනා එල්ල කර තිබෙනවා. එහිදී ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා වැඩිදුරටත් කරුණු කිහිපයක් අවධාරණය කළා.

දේශීය ක්‍රියාවලියක් තුළින් වගවීමක් ලබාදීමට නව රජයේ ඇති කැපවීම ප්‍රශංසාවට ලක්විය යුතු කරුණක්. එහෙත් ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය තවම ඊට සූදානම් නැහැ. ඊට කරුණු 03 ක් බලපානවා. පළමුවැන්න වන්නේ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් රැකගැනීමේ විශ්වාසවන්ත ක්‍රමයක් නොමැතිවීමයි. මෙවැනි අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට දේශීය නිතී රාමුව ප්‍රමාණවත් නොවීම දෙවැන්න ලෙස සැලකිය හැකියි. හදිසි තත්ත්වය, ගැටුම් සහ දඬුවම් නොලැබ සිටීම නිසා මෙරට ආරක්ෂක අංශය සහ අධිකරණ පද්ධතිය විකෘතියට මෙන්ම දූෂණයට ලක්ව ඇති ප්‍රමාණය තුන්වැනි අභියෝගයයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් වාර්තාවේ එල්ල කර ඇති චෝදනා කරුණු 08 කින් සමන්විත වනවා. නීති විරෝධී මිනිමැරුම්, ලිංගික සහ ස්ත්‍රී  පුරුෂභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, බලහත්කාරයෙන් සිදුකරන ලද අතුරුදන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්ද ඊට අයත්.

වාර්තාව සකස් කර ඇත්තේ ලිඛිත ප්‍රකාශ සහ ඉදිරිපත් කිරීම් 3000 ක් පමණ උපයෝගී කරගෙනයි. කලින් ප්‍රකාශයට පත් නොකළ ලිපි ලේඛණද ඊට යොදාගෙන තිබෙනවා. ඇසින් දුටුවන්ගේ සාක්ෂි, වින්දිතයන් හා සාක්ෂිකරුවන්ගේ සම්මුඛ සාකච්ඡා, අධිකරණ, වෛද්‍ය සහ හමුදා විශේෂඥයන්ගේ විශ්ලේෂණ ද වාර්තාව සකස් කිරීමට උපයෝගී කරගත් බවයි එහි දැක්වෙන්නේ.