සීපා ගිවිසුම ගැන සාකච්ඡාවක්වත් කර නැහැ - ජනපති සහ අගමැති කියයි

Friday, 18 September 2015 - 15:44

%E0%B7%83%E0%B7%93%E0%B6%B4%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90++-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
රජය සීපා ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කර හෝ එය ක්‍රියාත්මක කිරීමට කිසිදු පියවරක් ගෙන නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ කොටුව - ජනාධිපති මන්දිරයේ දී  අද පස්වරුවේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් මේ බව අවධාරණය කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කර ඇත්තේ ලක් රජය මේ වන විට ලොව සෑම රටක් සමඟම මිත්‍රශීලී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. මීට පෙර ජාත්‍යන්තර ගනුදෙනුවල දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇතැම් රටවල් අනුගමනය කළ ප්‍රතිපත්ති වෙනස් වී ඇති බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ. පසුගිය ජනවාරි 8 වනදායින් පසු රට තුළ සිදුවූ දේශපාලනික වෙනස ජාත්‍යන්තරව ශ්‍රී ලංකාව පිළිබඳ යහපත් ආකල්පයක් ඇති කිරීමට බලපෑ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී වැඩිදුරටත් කියා සිටියා.  

එමෙන්ම 19 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම, ජාතික සංහිදියාව පිළිබඳ කාර්ය සාධන බලකාය පිහිටුවීම, සාම ලේකම් කාර්යාලය පිහිටුවීම ශ්‍රී ලංකාව ලැබූ ප්‍රගතියට ශක්තියක් වූ බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ. තමන් පොදු අපේක්ෂකයා ලෙස ජනවාරි 8 වන දා ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු මෙරට දේශපාලනයේ සිදුවීමට ගිය ගැටුම්කාරී තත්ත්වය පාලනය වූ බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ. රටේ සිදුවූ මෙම වෙනස ඇතිවීමට එම දේශපාලන වෙනස බලපෑ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. ජනවාරි 8 වන දා වන විට ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරව බරපතල චෝදනා රැසක් එල්ල වී තිබූ අතර එම චෝදනා සියල්ලම මේ වන විට ඉවත් වී ඇති බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වැඩිදුරටත් කියා සිටියේ.

ජගත් මානව හිමිකම් කොමිසමේ වාර්තාවේ ජනවාරි 8 වන දාට පෙර මෙරට දේශපාලනඥයින්ගේ සහ හමුදා නායකයින්ගේ නම් ද චෝදනා ලැයිස්තුවට එක්කර තිබූ බව ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා. නමුත්, වත්මන් රජයට ඒ සියල්ල ඉවත් කර ගැනීමට හැකි වූ බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, එම සාකච්ඡාවට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරයේ ඇතිවීමට ගිය ප්‍රබල ගැටළු කිහිපයක් නිරාකරණය කර ගැනීමට රජයට හැකි වූ බවයි. පසුගිය රාජපක්ෂ පාලනය තවදුරටත් පැවතුණා නම් ආර්ථික සම්බාධක පවා ශ්‍රී ලංකාවට එරෙහිව පැනවීමට ඉඩ තිබූ බව ද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නා.