රෝහණ විජේවීරගේ බිරිඳ චිත්‍රාංගනී විජේවීර කථා කරයි

Monday, 21 September 2015 - 12:30

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%AB+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3+%E0%B6%A0%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A%E0%B7%80%E0%B7%93%E0%B6%BB+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
වැලිසර - නාවික හමුදා කඳවුරේ නිවස්නයෙන් ඉවත්වන ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයින්ට නාවික හමුදාව දැනුම් දී තිබෙනවා. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ඔක්තෝම්බර් පළමුවැනිදාට පෙර එම නිවස්නයෙන් ඉවත් වන ලෙසට නාවික හමුදාව ඔවුන්ට ලිඛිතව දැනුම්දී ඇති බවයි.

1989 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ඝාතනයට ලක්වීමෙන් අනතුරුව ඔහුගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර සහ දරුවන් 6 දෙනා කොළඹ හමුදා මූලස්ථානය වෙත භාර වුණා. අනතුරුව, ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට එවකට රජය පොරොන්දුවූ අතර, පසුව එම පිරිස් රඳවා තැබුණේ ත්‍රිකුණාමලය සහ වැලිසර නාවික හමුදා කඳවුරු තුළයි. වසර 26 ක කාලයක් විජේවීරගේ පවුලේ සාමාජිකයින්ට නාවික හමුදාව ආරක්ෂාව සපයා දුන් අතර, මේ වනවිට රට තුළ සාමකාමී තත්ත්වයක් පවතින නිසා ඔවුන් දැනට රැදී සිටින වැලිසර නාවික හමුදා කඳවුරේ නිවස්නයෙන් ඉවත් වන ලෙසට දැනුම් දුන් බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර සඳහන් කළේ.

රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයින්ට වැලිසර නාවික හමුදා කඳවුරෙන් ඉවත් වන ලෙසට දැනුම්දීමක් කර ඇති බව තමන් දැනගත්තේ මාධ්‍යයෙන් කරුණු හෙළි කිරීමත් සමඟ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළා.  

රෝහණ විජේවීරගේ පවුලේ සාමාජිකයින්ට නිවසක් සහ ඉඩමක් ලබාදීම සඳහා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වෙන් කර තිබූ බවයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක සෝමවංශ අමරසිංහ පවසන්නේ.

කෙසේ වෙතත්, තම පවුලේ සාමාජිකයින්ට ජනතා විමුක්ති පෙරමුණ උපකාර කරන බවට එම පක්ෂයේ නායකයින් සිදුකරන ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන බවයි රෝහණ විජේවීරගේ බිරිඳ වන චිත්‍රාංගනී විජේවීර ප්‍රකාශ කළේ. හිරු ප්‍රවෘත්ති අංශය වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ඇය කියා සිටියේ මෙතෙක් කල් තම පවුලට ජනතා විමුක්ති පෙරමුණ සාධාරණය ඉටු කළේ නම් තමන්ට සහ දරුවන්ට මෙවැනි ඉරණමක් අත් නොවන බවයි. දැනට වැලිසර නාවික හමුදා කඳවුරේ තමන් සමඟ දරුවන් 5 දෙනෙකු රැදී සිටින බව ද ඇය සඳහන් කළා.

රෝහණ විජේවීරගේ වැඩිමහල් දියණිය වන ඊෂා විජේවීර 2013 වසරේදී පොලිස් අත්අඩංගුවටද පත්වුණා. ඒ, තමන්ට සහ පවුලේ සාමාජිකයින්ට ඇය පහරදෙන බවට ඊෂාගේ මව වන චිත්‍රාංගනී විජේවීර පොලීසියට කළ පැමිණිල්ලකට අනුවයි. පසුව ඇයව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. අනතුරුව අධිකරණය පොලීසියට නියෝග කළේ ඇගේ මානසික තත්ත්වය පරීක්ෂාවට ලක් කරන ලෙසයි.