කොමිෂන් සභා අලූත් කිරීම, ඔක්. 15ට පෙර

Monday, 21 September 2015 - 19:38

%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%96%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%2C+%E0%B6%94%E0%B6%9A%E0%B7%8A.+15%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB
අල්ලස් කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම ඔක්තෝම්බර් 15 වන දාට පෙර සිදුකර අවසන් කිරීමට අද රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. කථානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සභාව රැස්වුණේ පාර්ලිමේන්තුවේ කථානායක නිළ මැදිරියේදියි. ඊට ව්‍යවස්ථා සභාව නියෝජනය කරන විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන විජේදාස රාජපක්ෂ, පාඨලී චම්පික රණවක සහ ජෝන් සෙනෙවිරත්න එක්ව සිටියා.

අද රැස්වූ ව්‍යවස්ථා සභාවේදී ප්‍රධාන තීරණ 3ක් ගෙන තිබෙනවා. හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සිවිල් සාමාජිකයින් සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම ඉන් එක් තීරණයක්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පත් කෙරෙන සිවිල් සාමාජිකයින් ලෙස සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න, අවි ගැටුම්වලට මැදි වූ ළමයින් පිළිබඳ ජගත් සංවිධාන විශේෂ නියෝජිතවරියක ලෙස කටයුතු කළ රාධිකා කුමාරස්වාමි සහ හිටපු නීතිපතිවරයෙකු වන ෂිබ්ලි අසීස්ගේ නම් යෝජනා වී තිබෙනවා.

එසේම ස්වාධීන කොමිෂන් සභාවලට පත් කෙරෙන සාමාජිකයින් සඳහා නාම යෝජනා ලබා ගැනීමේ කාලසීමාව දීර්ඝ කිරීමට ද අද රැස්වූ ව්‍යවස්ථා සභා රැස්වීමේදී තීරණය වී තිබෙනවා. ඒ අනුව මේ මස 30 වන දා දක්වා දේශපාලන පක්ෂ නායකයින්ට සහ වෘත්තීය සහ සිවිල් සංවිධානවලට මේ සඳහා නාම යෝජනා ලබාදිය හැකි බවයි කථානායක කාර්යාලය සඳහන් කළේ.