කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී සමයංට වෙඩි

Wednesday, 23 September 2015 - 10:23

%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BD+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92
කඩුවෙල අධිකරණ සංකීර්ණයේදී අද (23) සිදුවූ වෙඩි තැබීමකින් "සමයං’’ නමැති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලැබුවා අද පෙරවරුවේ මෙම වෙඩි තැබීම සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. 30 හැවිරිදි කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචි සැකකරු මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් රිමාන්ඞ් බන්ධනාගාර ගතව සිටියා. කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අද රැගෙන ආ අවස්ථාවේ ඔහු මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

කෙසේ වෙතත් වෙඩි තැබීම සිදුකළේ කවුරුන් ද යන්න මේ වනතුරුත් අනාවරණ වී නොමැති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නවගමුව පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර වෙඩි වැදී තුවාල ලැබූ සැකකරු නවගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී රෝහල් ප්‍රකාශිකාවක් සඳහන් කළේ වෙඩි වැදීමෙන් ඔහුගේ ගෙළ ප්‍රදේශයට තුවාල සිදුවී ඇති බවයි. මේ වනවිට සැකකරු ශල්‍යකර්මයකට යොමුකර ඇති බව ද එම ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ද විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සැකකරු අධිකරණ සංකීර්ණය වෙත රැගෙන එන අවස්ථාවේ එම ස්ථානයේ බංකුවක් මත අසුන්ගෙන සිටි පුද්ගලයෙකු එක්වරම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.