Update : ‘සමයං’ ට වෙඩි තිබ්බ අය සොයන්න පොලිසියෙන් කණ්ඩායම් 04 ක්

Thursday, 24 September 2015 - 8:19

Update+%3A+%E2%80%98%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%E2%80%99+%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6+%E0%B6%85%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+04+%E0%B6%9A%E0%B7%8A
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අරුණ උදයශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී පැනගිය රැඳවියන් දෙදෙනා සහ වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලිස් කණ්ඩායම් 4 ක් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. නුගේගොඩ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත නවගමුව පොලිසිය මෙම පරීක්ෂණ සිදුකරන බවයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ. මේ වනවිට ඊට අදාළව පුද්ගලයින්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවන බවයි එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා තවදුරටත් කියා සිටියේ.

මේ අතර, කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී ඊයේ (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූ අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නැමති පාතාල සාමාජිකයාට සැත්කමක් සිදුකර තිබෙනවා. ඔහුගේ ගෙළ ප්‍රදේශයට මෙම සැත්කම සිදුකර ඇති අතර මේ වනවිට ඔහුගේ තත්ත්වය යහපත් බවයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී ‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයා වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ ඊයේ උදෑසනයි. තුවාලකරු හංවැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා.

30 හැවිරිදි අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘සමයං’ කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් පිළිබඳ චෝදනා එල්ලවී ඇති අතර ඊට අදාළ නඩු 4 ක් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වනවා. ඒ එක් නඩුවක් සඳහා කඩුවෙල අධිකරණයට මොහු ඊයේ බන්ධනාගාර නිලධාරින් කැදවාගෙන ආ අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකළා.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, අදාළ සැකකරු එක් අතක් වෙළුම් පටියකින් වෙළාගෙන අධිකරණයට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදියි රිමාන්ඞ් භාරයේ සිටි මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු ද පළාගොස් තිබුණා.


Thursday, 24 September 2015 - 8:19
---------------------------------------------

කඩුවෙල අධිකරණයට ගිනි අවියත් සමඟ පුද්ගලයෙකු ඇතුළු වූයේ කෙසේ ද?

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් "සමයං" නැමති පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී පැනගිය රැඳවියන් දෙදෙනා සහ වෙඩි තැබූ පුද්ගලයා සොයා පොලීසිය තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

කඩුවෙල අධිකරණ සංකීර්ණය තුළදී ඊයේ (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් සමයං නැමති පාතාල සාමාජිකයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. මොහු 30 හැවිරිදි කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා. ඊට අදාළව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4 ක් විභාගවන අතර ඉන් එක් නඩුවක් විභාග කිරීම සඳහායි  ඊයේ මොහු කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන යනු ලැබුවේ. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු මොහුට වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ. සැකකරු කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැති අතර, වෙඩි තැබූ පුද්ගලයා එක් අතක් වෙළුම් පටියකින් වෙළාගෙන අධිකරණයට පැමිණ ඇති බව පොලීසිය පවසනවා. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදියි රිමාන්ඞ් භාරයේ සිටි රැඳවියන් දෙදෙනාද පළාගොස් ඇත්තේ.

මෙම සිද්ධියේ වගකීම පොලීසිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව භාරගත යුතු බවයි ශ්‍රී ලංකා නීතීඥ සංගමය සඳහන් කළේ. එහි ලේකම් නීතිඥ අජිත් පතිරණ හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ පොලීසියට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි විරෝධය පළ කරන බවයි.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එම්.ඞී. රෝහණ පුෂ්පකුමාර කියා සිටියේ අධිකරණයට රැදවියන් ආරක්ෂා සහිතව ඉදිරිපත් කිරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සතු වගකීම බවයි.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ ගිනි අවියත් සමඟ අධිකරණයට පුද්ගලයෙකු ඇතුළු වූයේ කෙසේ ද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

කඩුවෙල උසාවි වෙඩිකරු - CCTV දර්ශන - සිරකරුවෝ දෙන්නෙක් පනී