Update : වෙඩි කෑ "සමයං"ට සැත්කමක්

Thursday, 24 September 2015 - 13:18

Update+%3A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B7%91+%22%E0%B7%83%E0%B6%B8%E0%B6%BA%E0%B6%82%22%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණ භූමිය තුළ දී ඊයේ (23) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකරනු ලැබූ අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘‘සමයං’’ නැමති පාතාල සාමාජිකයාට සැත්කමක් සිදුකර තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ පුද්ගලයාගේ ගෙළ ප්‍රදේශයට මෙම සැත්කම සිදුකළ බවයි. කෙසේ වෙතත්, ඔහුගේ තත්ත්වය මේ වන විට යහපත් බවයි එම ප්‍රකාශිකාව සඳහන් කළේ.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක් සඳහා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ සිට අධිකරණ භූමියට රැගෙන ආ අවස්ථාවේදී ‘‘සමයං’’ නමැති පාතාල සාමාජිකයා වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ ඊයේ උදෑසනයි. තුවාල ලැබූ මොහු හංවැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යැවුණා. 30 හැවිරිදි අරුණ උදය ශාන්ත පතිරණ හෙවත් ‘සමයං’ කඩුවෙල - රනාල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුට එරෙහිව මනුෂ්‍ය ඝාතන, මංකොල්ලකෑම් සහ ස්ත්‍රී දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙනවා.

මොහුට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4 ක් විභාගවනවා. ඊට අදාළ එක් නඩුවක් සඳහා ඊයේ මොහු අධිකරණ භූමියට රිමාන්ඞ් බන්ධනාගාර නිලධාරීන් කැදවාගෙන ආ අවස්ථාවේදී මහේස්ත්‍රාත් අධිකරණයේ දෙවන මහලේ පියගැටපෙළ අසල බංකුවක වාඩිවී සිටි පුද්ගලයෙකු වෙඩි තැබීම සිදුකළා.

මෙම වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා මෙතෙක් අනාවරණ වී නොමැති අතර, අදාළ සැකකරු එක් අතක් වෙළුම් පටියකින් වෙළාගෙන අධිකරණයට පැමිණ ඇති බවයි පොලීසිය සඳහන් කළේ. එම වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදියි රිමාන්ඞ් භාරයේ සිටි තවත් රැඳවියන් දෙදෙනෙකු ද පළාගොස් තිබුණා.

වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළේ ගිනි අවියත් සමඟ අධිකරණයට පුද්ගලයෙකු ඇතුළු වූයේ කෙසේ ද යන්න පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි. මීට අමතරව පාතාල සාමාජිකයාට වෙඩි තැබීම සිදුවන අවස්ථාවේදී පැන ගිය රැදවියන් දෙදෙනා සහ වෙඩි තැබූ පුද්ගලයා සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළා.

මීට පෙර පලකළ පුවත පහතින් බලන්න :

"සමයං"ට වෙඩි තැබීමත් සමඟ තවත් සිරකරුවන් දෙදෙනෙකු පැන ගිහින්

කඩුවෙල අධිකරණයට ගිනි අවියත් සමඟ පුද්ගලයෙකු ඇතුළු වූයේ කෙසේ ද?