Update : කොත්මලේ නායයෑමට ලක්වූවන්ට සියලූ සහන - ඇමති යාපා පවසයි

Friday, 25 September 2015 - 16:14

Update+%3A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%BA%E0%B7%91%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%96+%E0%B7%83%E0%B7%84%E0%B6%B1+-+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F+%E0%B6%B4%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
කොත්මලේ  - රම්බොඩ - වෙදමුල්ල - ලිලීස් වතු නිවාස පෙළක ඊයේ (25) සිදුවූ නායයෑමෙන් විපතට පත් සියලූ දෙනාට සියලූ ආකාරයේ සහනයන් ලබාදීමට සූදානම් බව රජය පවසනවා. ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා කියා සිටියේ රම්බොඩ දෙමළ මහා විද්‍යාලයේ රඳවා සිටින එම වතු නිවාස පෙලේ සිට විපතට පත්වූ ජනතාවට අවශ්‍ය සහන ලබාදීමට මේ වනවිට පියවර ගෙන ඇති බවයි.  

මේ අතර, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම් ඇතුළු කණ්ඩායමක් අද (26) පස්වරුවේ ලිලීස්  වතු යායේ නායගිය නිවාස පරීක්ෂාවට ලක් කළා. ඔහු අවතැන් වූ ජනතාවට පොරොන්දු වූයේ හානි හා අර්ධ හානි සිදුවු නිවාස අලූතින් ඉදිකර දෙන බවටයි.

නායයෑමෙන් මියගිය  කුඩා දැරියන් දෙදෙනාගේ සහ කාන්තාවන් පස් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ නාවලපිටිය මූලික රෝහලේදී අද සිදුකෙරුණා.
 
මේ අතර, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක්ද අද නායගිය ස්ථානය පරීක්ෂාවට ලක් කළා. ඔවුන්ගේ නිර්දේශය වී තිබෙන්නේ එම වතු නිවාස පෙලේ නිවාස 10ක  පිරිස නැවත එම ස්ථානවල පදිංචි නොකරන ලෙසටයි. එමෙන්ම, පවතින වැසි තත්ත්වයත් සමඟ නායයෑමේ අවදානමක් මතු වන්නේද යන්න සම්බන්ධයෙන් තවදුරටත් අවධානයෙන් පසුවන ජාතික ගොඩනැගිලි පර්යේෂණය සංවිධානයේ නායයාම් අධ්‍යයන අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර සඳහන් කළා.





   

 









 



 







   

 













     



  

 





       

Update : Saturday, 26 September 2015 - 19:27

----------------------------------------------------------------

කොත්මලේ - රම්බොඩ නාය යාමෙන්, මිය ගිය 7 දෙනාගේම සිරුරු ගොඩ ගැනේ

කොත්මලේ  - රම්බොඩ - වෙදමුල්ල - ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙළක ඊයේ (25) සිදුවූ නායයෑමෙන් මියගිය හත්දෙනාගේම සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. කුඩා දැරියන් දෙදෙනෙකු සහ කාන්තාවන් පස්දෙනෙකු ඒ අතර සිටින බවයි හිරු නුවරඑළිය වාර්තාකරු සඳහන් කළේ. නායයෑම හේතුවෙන් වතු නිවාස 7 ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබුණා.

කෙසේ වෙතත්, එම ප්‍රදේශයේ නායයෑමේ අවදානම තවදුරටත් පැවතීම හේතුවෙන් වතුයායේ පවුල් 44 කට අයත් පුද්ගලයින් 193 දෙනෙකු මේ වනවිට රම්බොඩ දෙමළ මහා විද්‍යාලයේ තාවකාලිකව රඳවා තිබෙනවා. ඒ, කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය පී. දිගම්බරම්ගේ උපදෙස් අනුවයි.

මේ වනවිට අමාත්‍යාංශයට අයත් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට ගොස් සිටින අතර, අමාත්‍යවරයාද එම ස්ථානයට පැමිණීමට නියමිතයි.

මේ අතර ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ විපතට පත්වූවන්ට අවශ්‍ය සහන කටයුතු මේ වනවිට සළසා ඇති බවයි.

දිවයිනේ නිරිත දිග පෙදෙසේ වැසි සහිත තත්ත්වය තවදුරටත් පවතින අතර අනෙකුත් ප්‍රදේශවලද වැසි ඇතිවීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවල වර්ෂාපතනය මිලිමීටර 100 ඉක්මවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාලගෙන් පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව අප විමසීමක් කළා. එහිදි ඔහු කියා සිටියේ ඉදිරි දින දෙක තුළදීද මෙම කාලගුණික තත්ත්වය පැවතිය හැකි බවයි.



Update : Saturday, 26 September 2015 - 12:57

-----------------------------------------------------
රම්බොඩ නායයෑමෙන් මියගිය සංඛ්‍යාව 06 දක්වා ඉහළට

කොත්මලේ - රම්බොඩ - වෙදමුල්ල වතුයායේ ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙලේ ඊයේ (25) සිදුවූ නායයාමෙන් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 6 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කුඩා දරුවන් තුන්දෙනෙකු ඒ අතර සිටින බවයි ආපදා කළමනාකරණ මධයස්ථානය ප්‍රකාශ කළේ. තවත් එක් අයෙකු අතුරුදන් වී සිටිනවා.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල කියා සිටියේ නායයාමෙන් නිවාස 04 කට හානි සිදුවී ඇති බවයි. අදාළ නිවාස පෙලෙහි පවුල් 05 කට අයත් පුද්ගලයින් 30 දෙනෙකුට වැඩි පිරිසක් ජීවත් වන බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ. නායයාම සිදුවන අවස්ථාවේදී වැඩි පිරිසක් විවිධ කටයුතු සඳහා නිවෙස්වලින් බැහැරව ගොස් සිට ඇති අතර, අවතැන්වූවන් 153 දෙනෙකු මේ වනවිට රම්බොඩ හින්දු විද්‍යාලයේ රැඳී සිටිනවා.

මේ අතර, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අදත් අපරභාගයේදී සහ සන්ධ්‍යා කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. එම අවස්ථාවන්හිදී අකුණු සහ තද සුළං ඇති විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

Update : Saturday, 26 September 2015 - 7:37
-------------------------------------------------------
රම්බොඩ වතු යායක නායයාමක් - පස් දෙනෙකු මියගොස් දෙදෙනෙක් අතුරුදන්

කොත්මලේ - රම්බොඩ - වෙදමුල්ල වතුයායේ ලිලීස් ලෑන්ඞ් වතු නිවාස පෙලේ අද (25) සිදුවූ නායයාමෙන් පස් දෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන් වුණා. මියගිය පස් දෙනාම කාන්තාවන් බවයි පොලිසිය ප්‍රකාශ කළේ. සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් හෙලන් මීගස්මුල්ල කියා සිටියේ වතු නිවාස පෙලේ කොටසක් පමණක් නායයාමට ලක්ව ඇති බවයි. නිවාස 4 කට නායයාමෙන් හානි සිදුවී ඇති බව  ද ඇය සඳහන් කළා. මේ අතර, ප්‍රදේශවාසීන් සහ පොලිසිය එක්ව අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක කරමින් සිටිනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයාම් අංශයේ ප්‍රධානී ආර්.එම්.එස් බණ්ඩාර ප්‍රකාශ කළේ මේ වනවිටත් තම ආයතනයේ කණ්ඩායමක් නායයාම සිදුවූ ස්ථානයට පිටත්ව ගොස් ඇති බවයි. මේ අතර, අදත් රාත්‍රී කාලයේ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවලට තද සුළං සහ අකුණු සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.










Update : Friday, 25 September 2015 - 16:14
--------------------------------------------------

රම්බොඩ වතුයායක නායයාමක් - දෙදෙනෙකු මියගොස් දෙදෙනෙකු අතුරුදන්

කොත්මලේ - රම්බොඩ - වෙදමුල්ල - ලිලීස් ලෑන්ඞ් වතුයායේ අද සිදුවූ නායයාමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු අතුරුදන් වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ අතුරුදන් දෙදෙනා සොයා මේ වනවිට මෙහෙයුම් ක්‍රියාත්මක බවයි.

වැඩි විස්තර බලාපොරොත්තු වන්න..