Update: සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු රක්ෂිතයට - 'කොණ්ඩයා'ගේ පෙර වැරදි මෙන්න

Saturday, 26 September 2015 - 16:38

Update%3A+%E0%B7%83%E0%B7%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+-+%27%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA%E0%B7%8F%27%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92++%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
කොටදෙණියාවේ සේයා සදෙව්මි දැරිය ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරු දුනේෂ් ප්‍රියශාන්ත හෙවත් 'කොණ්ඩයා' ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. හිරු වාර්තාකරු සඳහන් කළේ අද (26) සවස සැකකරු මිනුවන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.ඒ.රුවන් පතිරණ හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බවයි.

අප වාර්තාකරු පැවසුවේ සේයා ඝාතනයේ ප්‍රධාන සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ අවස්ථාව  මාධ්‍යයෙන් වසන් කිරීම සදහා පොලිසිය සූක්ෂම අයුරින් කටයුතු කළ බවයි. ඒ  අනුව සැකකරු පස්වරු 4.00 ට පමණ අධිකරණයට ඉදිරිපත්  කර තිබුණා. අනතුරුව සදෙව්මි ඝාතනයේ ප්‍රධාන සැකකරු මීගමුව බන්ධනාගාරය වෙත රැගෙන ආ  අතර එහිදී ද විශේෂ ආරක්ෂාවක් යොදවා තිබුණා.

මේ අතර, සේයා සදෙව්මි දැරියගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු පිළිබඳව පැහැදිලි කිරීමට අද (26)  පොලිසිය මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඊට බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දරද එක්ව සිටියා. එහිදී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු සහ අත්අඩංගුවට ගත් 17 හැවිරිදි පාසල් සිසුවා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් කරුණු විමසුවා.

විශේෂයෙන් මාධ්‍යවේදීන් මෙහිදී විමසා සිටියේ සිසුවා අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය පාර්ශවයෙන් වරදක් වී ඇත්ද යන්නයි. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ සිද්ධිය පිළිබඳ සාධාරණ විමර්ශනයක් කිරීමට පොලිසිය කැප වූ බවයි. එම නිසා පරීක්ෂණ කටයුතු අතරතුර සිදුවන දේ වැරදි ලෙස හුවා දැක්වීමට නොහැකි බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

'දැන් මේ අවසානයට අරන් තියෙන සැකකරු.. අපිට සාධාරණ සැකයක් තියෙනවා... ඒ යන පරීක්ෂණ වල මට්ටම අනුව.. නමුත් අපි තාම තහවුරු කරගෙන නැහැ,එතකොට ඒ කලින් අරගෙන තියෙන සැකකරු පිළිබද නීත්‍යානුකූලව අපි ගන්න පියවර එක පාරටම ආපහු ගන්න බැහැ.. ඒ නිසා ඉදිරිපත් කරලා තියෙනවා D.N.A පරීක්ෂණයට.. ඒ අනුව 28 වැනිදා වෙනකොට නැවත අධිකරණයට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා...  ඒ යොමු කරයින් පස්සේ ඒ වාර්තාවත් එක්ක ගරු විනිසුරුතුමා තීරණය කරනු ඇති ඔහු රදවාගෙන සිටිනවාද නැද්ද.. ඇප පිට නිදහස් කරනවාද කියලා.."

ප්‍රශ්නය - පළවෙනියෙන් ගත්ත තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට රැගෙන ඒමේදී ඔහුගේ කිසියම් මුහුණු ආවරණයක් තිබ්බේ නැහැ.. එයාව නිදහසේ අරගෙන ආවා... නමුත් දැන් මේ අත්අඩංගුවට ගත්ත සැකකරු අධිකරණයට රැගෙන එනකොට ඔහුට විශේෂ ආරක්ෂාවක් දීලා මොහුගේ මුහුණු ආවරණය කරලා... මේ දෙකේ මොකක් හරි වෙනසක් තියෙනවාද?

" ලැබිච්ච තොරතුරු එක්ක... යන ගමනේ ඇති වෙච්ච තත්ත්වයන් අනුව අපිට සමහර දේවල් තියෙනවා.. හදිසියේ ඊළග පියවරට යන්න වෙලා තියෙනවා... එතකොට සමහර වෙලාවට ඒ වගේ සිද්ධියක් වෙන්න පුළුවන්... වෙනත් කිසිදු හේතුවක් ඇතුව හෝ හිංසාවකට පීඩාවකට අර පුද්ගලයා පෙන්වන්න මේවා කළා නෙමෙයි..."

සදෙව්මි ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ පෙර වැරදි පිලිබඳ - වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක  ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි පැහැදිලි කළා.

" මෙම පුද්ගලයාට විරුද්ධව වේයන්ගොඩ පොලිස් ස්ථානයට වාර්තා වී ඇති ගව සොරකම් පිළිබදව නඩු 3 ක් තියෙනවා... ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ 2013.07.13 වන දින වයස අවුරුදු 15ක දැරියක් පැහැරගෙන යාමට තැත් කිරීම සම්බන්ධව හා සාපරාධී බලහත්කාරකම් පෑම සම්න්ධව චෝදනාවට වරදකරු වී වසරක සිර දඩුවමක් වසර 5 කට අත්හිටුවලා තියෙනවා.. තවත් 1999 වසරේ පුද්ගලයෙකුට කඩුවෙන් කපා පහර දීමේ සිද්ධියක් සම්බන්ධව චෝදනාවක් තියෙනවා.."

මේ අතර, ප්‍රධාන සැකකරුගේ නිවසට මෙන්ම, කොටදෙණියාව ප්‍රදේශයට අද දිනයේ ද විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

සේයා සදෙව්මි දැරිය ඝාතනයට ලක්වූ ස්ථානයට ප්‍රධාන සැකකරු රැගෙන එන බවට ලද තොරතුරු හේතුවෙන් අද (26) උදෑසන ද ප්‍රදේශවාසීන් ඒ අවට  රැදී සිටියා.

සේයා සදෙව්මි දැරියගේ අපරාධයට විරෝධය පළ කරමින් දිවුලපිටිය - මරදගහමුල සහ කැකිරාවේදී අද පෙරවරුවේ උද්ඝෝෂණ පැවැත්වුණා.