පවතින ගැටළුවලට විසදුම් සෙවීමට දේශීය යාන්ත්‍රණය තුළ සත්‍ය කොමිසමක්

Sunday, 27 September 2015 - 19:23

%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%92%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B7%83%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
පවතින ගැටළුවලට දේශීය යාන්ත්‍රණයක් තුළ ක්‍රියාත්මක සත්‍ය කොමිසමක් පිහිටුවීමට රජය යෝජනා කර තිබෙනවා. මේ පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ අරලියගහ මන්දිරයේ අද දහවල් පැවති මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවේදියි. ඒ සඳහා ගිහි පුද්ගලයෙකුගේ සභාපතිත්වයෙන් යුත් මණ්ඩලයක් පත් කෙරෙන අතර, ඊට සාමාජිකයින් තෝරාගැනීම සඳහා මහානායක හිමිවරුන්, කාදිනල් හිමිපාණන්, හින්දු සහ මුස්ලිම් ආගමික නායකයින්ගේ ප්‍රධානත්වයෙන් යුත් ආගමික කමිටුවක් මගින්  සිදුකිරීමට නියමිතයි. මීට අමතරව අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීම සඳහා කාර්යාලයක් සහ පසුගිය කාලයේ ඇති වූ සිදුවීම් පිළිබඳ සෙවීමට නීති කාර්යාලයක් ද ස්ථාපිත කිරීමට ලක් රජය යෝජනා කර ඇති බවයි අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ. මෙම නීති කාර්යාලය සඳහා ලාංකික නීතිඥයින් පත් කෙරෙන අතර අවශ්‍ය නම් විදේශීය උපදෙස් ද ලබාගත හැකි බව ඔහු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත දැනුම් දී තිබෙනවා. විදේශීය නීතිඥයින් මෙම නීති කාර්යාලයට සම්බන්ධ කර ගන්නේ නම් ඒ සඳහා ශ්‍රේෂ්ඨාධිකරණ අනුමැතිය ලබාගත යුතු බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

ජිනිවා මානව හිමිකම් සැසියේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන ක්‍රියාවලිය පිළිබඳ තවදුරටත් පැහැදිලි කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමඟ එක්ව කටයුතු කිරීමට වර්තමානයේ අවස්ථාවක් උදා වී ඇති බවයි. මීට පෙර ද එවැනි අවස්ථාවක් හිමි වූ නමුත් පසුගිය රජය ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා එම තත්ත්වය මඟ හැරී ගිය බව ද ඔහු පෙන්වා දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන, ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ගත වූ කෙටි කාලය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින්, මානව හිමිකම් ආරක්ෂා කර තිබෙනවා. මේ නිසා පසුගිය මාර්තු මාසයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ද තවත් කල් දැමුණු බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඇමරිකාව, ශ්‍රී ලංකාවට සහය පළ කරමින් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කළ වාර්තාව සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. ඒ අනුව ලක් රජයට අවශ්‍ය  ලෙස වැඩ කිරීමට අවස්ථාව මෙමගින් උදා වී ඇති බව ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා මාධ්‍ය ප්‍රධානීන්ට ප්‍රකාශ කළා. කිසිදු අවස්ථාවක හමුදා නිලධාරීන් බිල්ලට නොදෙන බවත්, එසේ කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවත් ඔහු මෙහිදී පෙන්වා දුන්නා. එල්.ටී.ටී.ඊ. ය පසුගිය කාලවකවානුව තුළ සිදුකළ විනාශයන් දේශීය යාන්ත්‍රණයක් තුළ සෙවීමට අවස්ථාව උදා වී ඇති බවයි  අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ.

ඉදිරි වසර දෙක තුළ රටේ නැතිවී ගිය ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කර මානව හිමිකම් සුරකින දේශයක් ගොඩනගන බවට අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රතිඥාවක් ද ලබාදුන්නා.