Update : අඩුම විදුලිය ඉල්ලූම ඊයේ රාත්‍රියේ

Monday, 28 September 2015 - 12:50

Update+%3A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B6%B8+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%B8+%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A
ඊයේ රාත්‍රී සිදුවූ විදුලි බිඳ වැටීමට හේතුව නොසිතූ වේගයකින් විදුලි ඉල්ලූම අවම අගයකට පැමිණීම බව මේ පිළිබඳව විමර්ශන සිදුකළ විදුලිබල මණ්ඩලයේ නිලධාරින් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් සකස් කළ වාර්තාවක් අද දහවල් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය වෙත භාරදී තිබු අතර, එහි මෙම කරුණු අන්තර්ගත කර ඇති බවයි අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

එසේම, රාත්‍රී 9 න් පසු මෑතක වාර්තා වූ අවම විදුලි ඉල්ලූම ද ඊයේ රාත්‍රියේ වාර්තා වී තිබෙනවා. එම අගය මෙග වොට් 940 ක් වන අතර, සාමාන්‍යයෙන් තිබිය යුතු අගය වන්නේ මෙගවොට් 1100 ක්. පැවති කාලගුණ තත්ත්වය සහ සති අන්තයේ විදුලි පරිභෝජනය අඩු වීම මීට හේතු වන්නට ඇති බවට අනුමාන කරන බවයි විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ.

දිවයින පුරා ඊයේ රාත්‍රී 11.53 ට මෙම විදුලි බිඳ වැටීම සිදුවූ අතර අද අලූයම 4 ට පමණ වනවිට එය යථා තත්ත්වයට පත් කර තිබුණා. දිවයින පුරාම මෙවැනි විදුලි බිඳ වැටීමක් සිදුවූයේ 2010 වසරෙන් පසුවයි. කෙසේ වෙතත්, බිඳ වැටීම ආරම්භ වූයේ කුමන බලාගාරයෙන් දැයි තවදුරටත් සොයා බලන බවයි විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ කියා සිටියේ.

මේ වනවිට මෙගවොට් 900 ක විදුලි ධාරිතාවක් විදුලිබල පද්ධතියට එක්කරන නොරොච්චෝලේ තාප බලාගාර 3 ම අක්‍රිය වී ඇති බව හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තා වුණා. මේ සම්බන්ධයෙන් ද අප විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් විමසූ අතර, ඔහු කියා සිටියේ බලාගාර 3 න් දෙකක් අක්‍රිය වූයේ ඊයේ සිදුවූ හදිසි විදුලි බිඳ වැටීම නිසා බවයි. අලූත්වැඩියාවක් නිසා එක් බලාගාරයක විදුලි නිෂ්පාදනය තාවකාලිකව අත්හිටුවා තිබූ බව ද  අමාත්‍යාංශ ලේකම් සුරේන් බටගොඩ සඳහන් කළා.



Update : Monday, 28 September 2015 - 17:08
------------------------------------------------------

රට පුරා විදුලිය විසන්ධි වීමට හේතුව මෙන්න

මෑත කාලයේ රාත්‍රී 9න් පසු අඩුම විදුලිය ඉල්ලුම ඊයේ රාත්‍රියේ වාර්තා වීම රට පුරා විදුලිය විසන්ධි වීමට හේතුව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් පවසයි.

Update : Monday, 28 September 2015 - 12:50
------------------------------------------------------

රටම අඳුරුවීම නොරොච්චෝලේ බලාගාරයේ ප්‍රශ්ණයක් දැයි සැක

ඊයේ මධ්‍යම රාත්‍රියේ දිවයින පුරා සිදුවූ විදුලිය බිඳවැටීමට හේතුව නොරොච්චෝලේ තාප බලාගාරයේ සිදුවූ දෝෂයක්දැයි විදුලි ඉංජිනේරු සංගමය සැක පළ කරනවා. ඊයේ (27) රාත්‍රී 11යි 53 ට ආරම්භ වූ මෙම බිඳ වැටීම ඇතැම් ප්‍රදේශවලට අද අලූයම 4 දක්වා පැවතියා. කෙසේ වෙතත් එම බිඳවැටීම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බවයි විදුලිබල මණ්ඩලයේ සභාපති අනුර විජේපාල හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට ඊයේ රාත්‍රියේම නියෝග කළා. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි සභාපති අනුර විජේපාල කියා සිටියේ.

දිවයින පුරා මෙවැනි විදුලිය බිඳවැටීමක් සිදුවුණේ 2010 වසරෙන් පසුවයි.  

මීට පෙර පළ වූ පුවත :

ඊයේ මැදියම් රැයේ දිවයින පුරා හදිසි විදුලිය බිඳ වැටීමක් - හේතුව සොයන්න - විදුලිබල ඇමති