කොටකෙතන කත අතවරයට ලක්වූයේ දැයි සොයන්න, සිරුරු කොටස් කොළඹට

Wednesday, 30 September 2015 - 8:08

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B6%9A%E0%B7%99%E0%B6%AD%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%A7
කහවත්ත - කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන රස පරික්ෂක කාර්යාලයට සහ බොරැල්ලේ පිහිටි ජීන්ටෙක් ආයතනය වෙත යොමුකර තිබෙනවා. ඝාතනයට ලක්වූ කාන්තාවගේ පශ්චාත් මරණ පරික්ෂනය ඊයේ රත්නපුර මහ රෝහලේදී සිදු කෙරුණේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ටිකිරි බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන්. එහිදී අනාවරණ වූයේ බරපතල කැපුම් තුවාල 5ක් හේතුවෙන් සිදුවූ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා මරණය සිදුව ඇති බවයි. එමෙන්ම කාන්තාවගේ හිසෙහි වම් පස කොටසෙහි බරපතල කැපුම් තුවාල ද ඇති බව එහිදී අනාවරණ වුණා. ඝාතනයට පෙර ඇය අතවරයට ලක්වුණාදැයි සොයාබැලීම සඳහා සිරුරේ කොටස් කොළඹට එවා තිබෙනවා.

කෙසේ වෙතත් මෙම ඝාතනය සම්බන්ධයෙන් තවමත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බවයි. මේ වනවිටත් ඊට අදාළ පරික්ෂණ මෙහෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මෙම ප්‍රදේශයට ගොස් තිබෙනවා. එමෙන්ම ඔවුන්ට සහායවීම සඳහා රත්නපුර කොට්ඨාශයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් ද එක්ව ඇති බවයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි සදහන් කළේ.

48 හැවිරිදි දෙදරු මවක් වන නාගම් පාපු නමැති කාන්තාව කොටකෙතන -  ඕපාතවත්ත ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණේ පෙරේදා දිනයේයි. පොලීසිය සඳහන් කළේ තේ දළු නෙලන්නියක ලෙස කටයුතු කරන මෙම කාන්තාව සිය වැඩ අවසන් කර නිවසට පැමිණෙමින් සිටියදී මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි.

මීට පෙර ද කහවත්ත - කොටකෙතන ප්‍රදේශයෙන් ඝාතන සිද්ධීන් 17 ක් වාර්තාවුණු අතර,  ප්‍රදේශයේ පළමු කාන්තා ඝාතනය වාර්තාවූයේ 2008 වසරේ ජූනි මස 8 වනදායි.