Update: චන්ද්‍රිකා ඝාතන තැත : සිරදඩුවමට ලක්වූවන්ගෙන් අභියාචනයක්

Wednesday, 30 September 2015 - 12:52

Update%3A+%E0%B6%A0%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD+%3A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%AF%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%A0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද වසර 290 ක සහ 300ක සිරදඩුවම් නියම කළා. මෙම නඩුව වසර 15 ක් තිස්සේ විභාග වූ අතර, එම කාලය තුළ මෙම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටියා.  

ඒ අනුව මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක නඩුවේ පළමු විත්තිකරු වන වර්දරාජා උදයන් නැමැත්තාට අවුරුදු 290 ක සිරදඩුවමක් නියම කළේ වසර 30 කින් ගෙවී යන පරිදියි. නීතිපතිවරයා විසින් මොහුට එරෙහිව චෝදනා 28ක් ගොනු කර තිබෙනවා. පළමු චෝදනාවට වසර 20ක සහ දෙවන චෝදනාවේ සිට අනෙකුත් චෝදනා 27 සඳහා වසර 10 බැගිනුයි දඩුවම් නියම කර ඇත්තේ.

නඩුවේ දෙවන විත්තිකරු වන චන්ද්‍රා අයියර් රඝුපතිට අවුරුදු 300 ක සිරදඬුවමක් නියම කෙරුණු අතර එය ද වසර 30 කින් ගෙවී යනු ඇති. නීතිපතිවරයා මොහුට එරෙහිව චෝදනා 29 ක් යටතේ නඩු පවරා තිබුණා. විත්තිකරුට එරෙහි පළමු චෝදනාවට වසර 20ක් සහ දෙවන චෝදනාවේ සිට අනෙකුත් චෝදනා 28 ක් සඳහා වසර 10 බැගිනුයි මෙම වසර 300ක දඩුවම සකස් වී ඇත්තේ. මෙම නඩුවේ චෝදනා ලැබූ දෙවන විත්තිකරුගේ බිරිඳ වන වසන්ති අයියර් රඝුපති අදාල චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමටයි විනිසුරුවරිය නියෝග කළේ.  ඒ ඇයට එරෙහිව එල්ලවී තිබූ චෝදනා ඔප්පු වී නොමැති බැවින්.

කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනාධිපතිවරිය ඉලක්ක කරගෙන මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණේ 1999 වසරේ දෙසැම්බර් 18 වනදායි. එහිදී පුද්ගලයන් 20 දෙනෙකු මියගොස් තවත් 112 දෙනෙකු තුවාල ලැබූ අතර, බෝම්බ ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිනියට ඇසක් ද අහිමි වුණා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා සැකකරුවන්ට එරෙහිව චෝදනා 110ක් යටතේයි නඩු පවරා තිබුණේ.

කෙසේ වෙතත් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ  විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ මහින්ද ජයවර්ධන කියා සිටියේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අභියාචනාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

Update: Wednesday, 30 September 2015 - 18:36
--------------------------------------------------------------

චන්ද්‍රිකා ඝාතනයට අනුබල දුන් දෙදෙනෙකුට වසර 260 ක සහ 300 ක සිරදඬුවම්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ සැකකරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිනි රණවක අද (30) සිරදඩුවම් නියම කළා. ඒ අනුව, මෙම නඩුවේ පළමු විත්තිකරු වන වර්දරාජා උදයන් නැමැත්තාට අවුරුදු 260 ක සිරදඩුවමක් නියම කළේ වසර 30 කින් ගෙවී යන ආකාරයටයි. එහි දෙවන විත්තිකරු වන චන්ද්‍රා අයියර් රඝුපතිට අවුරුදු 300 ක සිරදඬුවමක් නියම කළ අතර එය ද වසර 30 කින් ගෙවී යනු ඇති. මෙම නඩුවේ චෝදනා ලැබූ දෙවන විත්තිකරුගේ බිරිඳ වන වසන්ති අයියර් රඝුපති අදාළ සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර තිබෙනවා. ඒ ඇයට එරෙහිව චෝදනා ඔප්පු වී නොමැති බැවින්.

1999 වසරේ දෙසැම්බර් 18 වනදා කොළඹ නගර සභා පිටියේදී හිටපු ජනාධිපතිවරිය ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වුණා. චෝදනා 190 ක් යටතේයි මොවුන්ට එරෙහිව නඩු පවරා තිබුණේ.