මහින්ද නැවතත් බරපතල වංචා සෙවීමේ කොමිසමට

Friday, 02 October 2015 - 11:52

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%99%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහා පරිමාණ වංචා සහ දූෂණ සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවට මේ මස 15 වනදා නැවතත් කැඳවා තිබෙනවා. මීට පෙර සැප්තැම්බර් මස 23 වනදාද හිටපු ජනාධිපතිවරයා බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට කැඳවා තිබුණා. ඒ, පසුගිය ජනාධිපතිවරණ සමයේදී ස්වාධීන රූපවාහිණියෙන් විකාශනය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අයවිය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහායී.

පසුගිය 23 වනදා හිටපු ජනාධිපතිවරයාගෙන් මුල්වරට මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසනු ලැබුවේ ජනාධිපති කොමිසමේ නිලධාරීන් කිහිප දෙනෙකු මිරිහානේ පිහිටි ඔහුගේ නිවසට යාමෙන් අනතුරුවයි. එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම මැතිවරණ දැන්වීම් සඳහා මුදල් ගෙවීම් සිදුකළේ නිදහස් සන්ධානය විසින් බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මීට පෙර කිහිප දෙනෙකු බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබුණා. නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් පී.බී.ජයසුන්දර ද ඒ අතර වනවා. එමෙන්ම, ස්වාධීන රූපවාහිණි සේවයේ හිටපු සභාපති අනුර සිරිවර්ධන සහ එහි වර්තමාන කළමනාකරණ නිලධාරීන්ගෙන් ද බරපතල වංචා සොයන ජනාධිපති කොමිසම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගත්තා.

සැප්තැම්බර් මස 30 වනදා මෙම කොමිසම හමුවේ පෙනී සිටි නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම්, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය සහ ප්‍රචාරක කටයුතු භාරව කටයුතු කළ පුද්ගලයින් මේ සඳහා වගකිව යුතු බවයි.