Update: ජනපති යළි දිවයිනට. - ගුවන් තොටුපළේ විශේෂ පිළි ගැනීමේ උත්සවයක්

Friday, 02 October 2015 - 16:30

Update%3A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7.+-+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B6%B4%E0%B7%85%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගිවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද දිවයිනට පැමිණියා. ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළට ළඟා වුණේ පස්වරු 4.10ට පමණයි. එහිදී ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, එස්.බී. දිසානායක සහ දුමින්ද දිසානායක විසින්. තවත් මැති ඇමතිවරුන් රැසක් එම ස්ථානයට එක්ව සිටි අතර ජනාධිපතිවරයා පැමිණෙන අයුරු දැක බලා ගැනීමට අති විශාල පිරිසක් ද ගුවන් තොටුපළ පරිශ්‍රයට පැමිණ සිටියා. ජාතික ධඡ සහ නිල් පැහැති කොඩි අතැතිව සිටි ඔවුන් අත්පොළසන් නද දෙමින් ජනාධිපතිවරයා පිළි ගැනීම විශේෂත්වයක්.

ගුවන් තොටුපළේදී සර්වඥ ධාතූන් වහන්සේලා උදෙසා පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිවරයාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනා කළා. අනෙකුත් ආගමික පූජකවරුන් ජනාධිපතිවරයාට ආශිර්වාද කළේ ඉන් අනතුරුවයි.

පසුගිය 23 වන දා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට එක්වීම සඳහා ජනාධිපතිවරයා දිවයිනෙන් පිටත්ව ගියා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පළමුව සහභාගි වුණේ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සමුළුවටයි. මුතුන් මිත්තන් දැන සිටි තිරසාර සංවර්ධනයේ මූලිකාංග, 21 වන සියවසට ගැලපෙන ලෙස වෙනස් කරමින් රට සංවර්ධනය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහිදී ප්‍රකාශ කළා.

පසුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි,  ඇතුළු රාජ්‍ය නායකයින් සහ නිලධාරීන් රැසක් සමඟ සාකච්ඡා පවත්වනු ලැබුවා. එසේම මෙම සංචාරය අතරතුර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන් කී මූන් අතර පැවැති සාකච්ඡාවට ද බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා. පසුගිය 27 වන දාට යෙදුණු බිනර පොහෝදා නිව්යෝක් බෞද්ධ විහාරයට ගිය ජනාධිපතිවරයා, එහිදී එරට සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ ද සාකච්ඡා කළා.

එක්සත් ජාතීන්ගේ සාම සාධනය පිළිබඳ සමුළුව ඊට පසුදින ඇමතූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ජගත් මහා මණ්ඩලයේ 70 වන සැසි වාරය ඇමතුවේ පෙරේදා දිනයේයි. තිරසාර සංවර්ධනය නම් දෙවොල ගොඩනැගිය යුත්තේ ස්වයං ශික්ෂණය සහ සම සාධාරණත්වය නම් අත්තිවාරම මත බව ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළා.

මේ අතර, දිවයිනට පැමිණීමට පෙර ඊයේ දිනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඇමරිකානු ආයෝජකයන් පිරිසක් ද හමුවී තිබෙනවා. විනිවිදභාවයෙන් සහ අල්ලස් දූෂණවලින් තොර වටපිටාවක් දැන් ශ්‍රී ලංකාවේ නිර්මාණය වෙමින් පවතින බවයි ඔහු එහිදී සදහන් කර ඇත්තේ.