Update: අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107කින් සම්මතයි

Wednesday, 02 December 2015 - 17:40

Update%3A+%E0%B6%85%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%BA+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF++107%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD%E0%B6%BA%E0%B7%92
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 107 කින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුණු අතර, විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52 ක්.  මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේදී සභා ගර්භයට පැමිණ සිටියේ නැහැ.

ඡන්දය ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් අතරින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සමඟ එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවට සහය දුන් මන්ත්‍රීවරු සහ දෙමළ ජාතික සන්ධානය, අයවැයට පක්ෂව මෙහිදී ඡන්දය භාවිත කළා. ජනතා විමුක්ති පෙරමුණ මෙන්ම ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.

කෙසේ වෙතත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අද උදෑසන හමුවූ අතර, එහිදී ඔවුන් ඉල්ලා තිබුණේ අයවැයට පක්ෂව ඡන්දය භාවිතා කරන ලෙසයි. එසේ නොමැතිනම් ඊට විරුද්ධ නොවී, ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ජනාධිපතිවරයා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන්ට ප්‍රකාශ කර තිබුණා.  

මීට අමතරව, පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කර මේ වනවිට පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණ, පිවිතුරු හෙළ උරුමය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ ඇතුළු පක්ෂ අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කළා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දාගේ නායකත්වයෙන් යුතු ඊ.පී.ඩී.පී පක්ෂය අයවැයට සහය පළ කිරීමද විශේෂත්වයක්. ලංකා කම්කරු කොංග්‍රසයේ ආරුමුගම් තොණ්ඩමන් මන්ත්‍රිවරයාද අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළා.


update: Wednesday, 02 December 2015 - 18:40
----------------------------------------------------------

2016 විසර්ජන පනත් කෙටුම්පත දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී සම්මත වුනා. ඊට පක්ෂව ඡන්ද 159ක් ලැබුනු අතර විපක්ෂව ලැබුනු ඡන්ද ප්‍රමාණය 52ක්. විරුද්ධ වූ පිරිසට ජනතා විමුක්ති පෙරමුණු සාමාජිකයින්ද අයත්.  

විපක්ෂනායක R. සම්බන්ධන් පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරේම විශේෂත්වයක්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු 13ක් ඡන්ද විමසන අවස්ථාවේ සභාවේ රැඳී සිටියේ නැහැ.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම පස්වරු 5.25ට පමණ ආරම්භ වූවා.

අයවැය කතාව මුදල් අමාත්‍ය රවී කරුණානායක පසුගිය 20 වන දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර දෙවන වර කියවීමේ විවාදය පසුගිය 21 වන දා සිට දින 9ක් පෙරවරු 9.30 සිට පස්වරු 6.30 දක්වා පැවැත්වුණා.

අයවැය තුන්වන වර කියවීමේ කාරක සභා අවස්ථා විවාදය හෙට ඇරඹෙන අතර එය එළඹෙන 19 වන දා දක්වා පැවැත්වෙනු ඇති. අවසන් ඡන්ද විමසීම එදින පස්වරු 5ට සිදුකිරීමට නියමිතයි.

ජාතික ආණ්ඩුවේ මංගල අයවැය බහුතර ඡන්දයෙන් සම්මත කර ගැනීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණීමට නියමිතව තිබුණා.

අයවැය වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීම සදහා ජනාධිපතිවරයා - ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී හමුවී තිබුණා.