වෛද්‍ය ඇතුලූ වෘත්තිකයන්ගේ වර්ජනයෙන් සේවා කටයුතුවලට බාධා

Thursday, 03 December 2015 - 13:12

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B7%96+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F
මෙවර අයවැයෙන් රාජ්‍ය සේවයේ වරප්‍රසාද කප්පාදු කර ඇති බව පවසා රජයේ වෛද්‍යවරුන් ඇතුලූ දීපව්‍යාප්ත සේවාවන් 18 ක වෘත්තිකයන් ආරම්භ කර ඇති සංකේත වැඩවර්ජනය නිසා රෝහල් කටයුතු මෙන්ම රාජ්‍ය සේවයේ කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා.

අද උදෑසන 8 ට ආරම්භ වූ මෙම වැඩවර්ජනයෙන් වැඩිම බලපෑමක් එල්ලවී ඇත්තේ රෝහල් කටයුතුවලටයි. කොළඹ ජාතික රෝහලේ සහ දිවයිනේ අනෙකුත් රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශයේ කටයුතු අද දිනයේ සිදු වූයේ නැහැ.

රෝගීන් පැමිණ සිටියද වෛද්‍යවරුන් ප්‍රතිකාර නොකිරීම නිසා ඇතැම් රෝගීන් නැවත හැරී යන අයුරු හිරු ප්‍රවෘත්ති අංශය නිරීක්ෂණය කළා. වැඩවර්ජනය සාර්ථකව අද දිනයේ ක්‍රියාත්මක වෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නලින් ද හේරත් සඳහන් කළේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණි වකුගඩු රෝගීන් පිරිසක් අද උදෑසන එම රෝහල ඉදිරිපිටින් දිවෙන හරිස්චන්ද්‍ර මාවත අවහිර කරමින් විරෝධතාවක නිරතවුණේ මෙම වැඩවර්ජනයට විරෝධය පළ කරමින්.  ඔවුන් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ දුරබැහැර ප්‍රදේශවල සිට පැමිණි තමන්ට වෛද්‍ය වැඩවර්ජනය නිසා ප්‍රතිකාර ගැනීමට නොහැකිවූ බවයි.

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයට අමතරව තවත් වෘත්තීය සංගම් 17 ක් වැඩවර්ජනයට එක්ව සිටිනවා. ඉංජිනේරු, ගණකාධිකරණ සේවා, පශූ වෛද්‍ය, අධ්‍යාපන පරිපාලන, විගණන සේවා, දේශීය ආදායම්, මිනින්දෝරු සහ ක්‍රමසම්පාදන, ඇතුලූ වෘත්තීය සංගම් ඊට අයත්. මීට අමතරව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් අද දිනයේ අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන්නේ මෙවර අයවැයට විරෝධය පළ කරමින්.