Update: 'ජනපති' නැතිවී මහින්දට ලැබුණු 'මන්ත්‍රී' ට පළමු කතාව ලැබෙයි

Friday, 04 December 2015 - 13:37

Update%3A+%27%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%27+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%93+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B6%AB%E0%B7%94++%27%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%27+%E0%B6%A7++%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට  අද (04) දිවා ආහාර විවේකයෙන් පසු පාර්ලිමේන්තුව ඇමතීමේ අවස්ථාව ලැබුණා. පස්වරු 1.30ට පමණ හෙතෙම සිය කතාව ආරම්භ කළා.

අය වැය සම්බන්ධයෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා පසුගිය දිනවල මාධ්‍යට විවිධ අදහස් පළකලා.

කෙසේ වෙතත් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව ඇමතීමට නොලැබීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය සිටියේ ද කනස්සල්ලෙන්.

ජනාධිපති ධුරය දරන සමයේ තමාකළ  ඇතැම් දේවල් වැරදිබව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.  එබැවින්  එම වැරදි නොකරන ලෙසයි  හෙතෙම මන්ත්‍රීවරුන්ට දන්වන්නේ.

ත්‍රස්තවාදය මර්දනය කිරීමේ පනත හඳුන්වා දුන්නේ ත්‍රස්තවාදී කටයුතු වැළැක්වීමට මිස ආරක්ෂක හමුදා සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා.

ආරක්ෂක අමාත්‍යාංශය පිළිබද වැය ශීර්ෂයයි අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙන්නේ. යුද්ධයෙන් පසු සිව් වරක් එල්.ටී.ටී.ඊ ය යළි හිස එසවීමට උත්සාහ දැරූ බව සඳහන් කළ ඔහු විදේශ රටවල අවශ්‍යතා මත ආරක්ෂක හමුදා ප්‍රතිසංවිධානය නොකරන ලෙස ද රජයෙන් ඉල්ලීමක් කළා.


පාර්ලිමේන්තුව අමතමින් මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලේ රටට නිදහස ලබාගැනීමේ ක්‍රියාදාමයේදී ත්‍රිවිධ හමුදාව මෙන්ම ජනතාව පුර්ණ දායකත්වයක් ලබාදුන් බවයි. ත්‍රස්තවාදය පරාජය කිරීමේ වැඩපිළිවෙලට සහය දුන් රටවල්වලට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාවක් කරගන්නා බවයි ඔහු සඳහන් කලේ. මෙම සියලු පාර්ශවවල සහය ලැබීම හමුවේ ත්‍රස්තවාදය අවසන් කිරීමට හැකිවු බව එහිදී ප්‍රකාශ කෙරුනා.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා අවධාරණය කලේ රජයක ප්‍රධාන වගකීම වන්නේ ජාතික ආරක්ෂාව බවයි. තම පාලන සමයේ ජාතික ආරක්ෂාව හෘද සාක්ෂියට එකගව ඉටු කල බවයි ඔහු පෙන්වා දුන්නේ.

තම පාලන සමයේ පරාජයට පත් කරනු ලැබුවේ අමරිකාවේ එෆ් බී අයි ආයතනය පවා ලෝකයේ දරුණුතම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කල එල් ටී ටී ඊ සංවිධානය බව මන්ත්‍රීවරයා කියාසිටියා. තමන් පරාජයට පත් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යුධමය වශයෙන් කටයුතු කල එල් ටී ටී් ඊ සංවිධානය පමණක් වන අතර එය ජාත්‍යන්තරව ද පරාජයට පත්කල යුතු වන බවයි ඔහු පෙන්වා දුන්නේ. ත්‍රස්තවාදය යළි හිස එසවීමට ඉඩ නොලැබෙන ආකාරයෙන් පැවති රජය කටයුතු කල බව මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරනවා.

එල් ටී ටී ඊ - සැකකාර  රැඳවියන්  නිදහස් කිරීම පිළිබඳව ද හින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පළමු කථාවේදී - කරුණු ප්‍රකාශ කෙරුනා. තම පාලන සමයේ ඇතැම් එල් ටී ටී ඊ සාමාජිකයන් රඳවාගෙන සිටියේ පෞද්ගලික අමනාපයකින් නොවන බවයි ඔහු කියාසිටියේ. වත්මන් රජය යටතේ විවිධ හේතුන් මත එම රැඳවියන් නිදහස් කිරීම සිදුකල යුතු කරුණක් ද යන්න සිතා බැලිය යුතු බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කලා.

නිදහස ලබාදීමේ වැඩපිළිවෙලට සහය ලබාදුන් හමුදා නිලධාරීන් විවිධ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින බවයි රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කලේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ගෙන එනු ලැබුවේ ආරක්ෂක අංශ සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට නොවන බව ද ඔහු ප්‍රකාශ කලා. හමුදා සෙබලුන් අත්අඩංගුවට ගන්නේ නම් රටේ සාමාන්‍ය නීතියට හෝ ඊට අදාළ ක්‍රමවේද අනුගමනය කල යුතු බවයි මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කලේ. ඔවුන්ගේ ආත්ම ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරන්නැයි තමන් ඉල්ලා සිටින බව ද මන්ත්‍රීවරයා සිය කථාවේදී පාර්ලිමේන්තුව හමුවේ සඳහන් කලා.

මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ඇතැම් කරුණු ප්‍රකාශ කිරීමේදී ඇතැම් අවස්ථාවලදී රජයේ පාර්ශවයෙන් දැඩි විරෝධයක් ද එල්ලවුනා.

මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්වීමෙන් පසු අද ප්‍රථම වරටයි හෙතම පාර්ලිමේන්තුව ඇමතුවේ. විනාඩි 25ක් පමණ සභාව ඇමතීමට මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයාට අවස්ථාව හිමි වූවා.