පාවෙන සිරුරු සොයන්න තවදුරටත් මෙහෙයුම්

Tuesday, 08 December 2015 - 8:24

%E0%B6%B4%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ත්‍රිකුණාමලය - සාම්පූර් වෙරළට ඔබ්බෙන් නැගෙනහිර මුහුදේ පාවෙමින් පවතින බවට සැක කෙරෙන මළ සිරුරු සෙවීම සදහා නාවික හමුදාවේ යාත්‍රා 3ක් තවදුරටත් නිරීක්ෂණ කටයුතුවල නිරත වී සිටිනවා. නාවික හමුදාව කළ ඉල්ලීමකට අනුව ඊයේ (07) පස්වරුවේ වයි ටුවෙල් වර්ගයේ ගුවන් යානයක් අදාළ ප්‍රදේශය නිරීක්ෂණ මෙහෙයුමකට එක්වුණා. කෙසේ නමුත්, මෙතෙක් වාර්තා වූ පරිදි තවත් මළ සිරුරු පිළිබඳ කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට හැකිවී නැහැ. ත්‍රිකුණාමලය වෙරළේ නාවික හමුදා මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ පෙරේදා දිනයේ සිටයි.    

ත්‍රිකුණාමලයට මුහුදු සැතපුම් 20ක් පමණ දුරින් මුහුදේ මළ සිරුරු 5ක් පාවෙන බවට නාවික හමුදාව වෙත තොරතුරු ලබාදී තිබුණේ ධීවරයින් පිරිසක් විසින්. පසුව ඒ බව නාවික හමුදාව ත්‍රිකුණාමලය වරාය පොලීසිය දැනුවත් කර තිබුණා. ඒ අනුව පොලීසිය සහ නාවික හමුදා නිලධාරීන් රැගත් යාත්‍රාවක් පසුගිය ඉරිදා පස්වරුවේ එම ප්‍රදේශයට පිටත් කර යවා, ප්‍රදේශය පරීක්ෂාවට ලක් කෙරුණ ද මළ සිරුරක් හමු වූයේ නැහැ.

කෙසේ වෙතත්, මුහුදේ රළු ස්වභාවය හේතුවෙන් එම යාත්‍රාව නැවත ගොඩබිම වෙත පැමිණියා. ඊයේ උදෑසන යළිත් එම ප්‍රදේශයට නාවික හමුදා යාත්‍රා 3ක් යැවුණු අතර, එම යාත්‍රා අදාළ ප්‍රදේශයේ මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි සදහන් කළේ.

මේ අතර, පෙරේදා නිලාවේලි - සුදුගල වෙරළ තීරයට ගොඩ ගසා තිබූ මළ සිරුර ඉන්දීය ජාතිකයෙකුගේ බවට සැක කෙරෙන බව නිලාවේලි පොලීසිය සඳහන් කළා. මෙම සිරුර මේ වන විට ත්‍රිකුණාමලය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.

එසේම නිලාවේලි වෙරළ තීරයේ තිබී දකුණු ඉන්දියාවේ පදිංචි පුද්ගලයෙකුගේ හැදුනුම්පතක් ද පොලීසිය සොයා ගත්තා. ඔහු චෙන්නායි නුවර කුලී රථ රියදුරෙකු බවයි ඉන්දීය හින්දු පුවත්පතේ වාර්තාකරු සඳහන් කළේ. චෙන්නායි චෝලිමඩු ප්‍රදේශයේ කමරාජ් නගර්හි පදිංචි පූමි දුරෙයි නමැති, චෙන්නායි මධ්‍යම කුලී රථ සම්මේලනයේ ලියාපදිංචි රියදුරෙකුගේ සිරුරක් මෙලෙස හමුවී ඇති බව හින්දු පුවත්පත අනාවරණ කළා.
 
මීට අමතරව තලෙයි මන්නාරම නාවික හමුදා කදවුර ආසන්නයේ ඇති වැලි පරයට ගොඩ ගැසූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙරේදා දිනයේදී පොලීසිය සොයා ගත් අතර, එම මළ සිරුර ද දකුණු ඉන්දීය ධීවරයෙකුගේ බවට අනාවරණ වුණා.

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පසුගිය දා අයහපත් කාලගුණය සහ ජල ගැලීම් හේතුවෙන් පුද්ගලයන් රැසක් අතුරුදන් වුණා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පාවෙන බවට තොරතුරු ලැබී ඇති සිරුරු එලෙස අතුරුදන් වූ ඉන්දියානුවන්ගේ බවට සැකයක් මතුව තිබෙනවා.