වවුචර් බෙදිල්ල 95% ක් අවසන්

Wednesday, 09 December 2015 - 13:16

%E0%B7%80%E0%B7%80%E0%B7%94%E0%B6%A0%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD++95%25+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
පාසල් ශිෂ්‍යයන්ට නිල ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීමේ වැඩපිළිවෙල මේ වනවිට සියයට 95 කින් පමණ අවසන් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. වවුචර්පත් ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබදව අද (09) පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ප්‍රකාශයක් කරමින් ඔහු සදහන් කළේ කෙටි කාලයක් තුළ මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවයි.

කෙසේ වෙතත්, පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීමේ වැඩසටහනේ ගැටලූ රැසක් පවතින බවට දෙමව්පියන් ඇතුළු විවිධ පාර්ශවයන් චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළේ අදාල වවුචර්පත් ලබාගැනීමට පාසල වෙත පැමිණිය යුත්තේ පළමු වසරේ සිට 5 වසර දක්වා අධ්‍යාපනය ලබන දරුවන්ගේ දෙමව්පියන් පමණක් බවයි. තවද, ලබන වසරේ පෙබරවාරි 28 දක්වා වවුචරය මගින් නිල ඇඳුම ලබාගත හැකි බව ද අමාත්‍යවරයා සදහන් කළා.

මීට අමතරව, වවුචර්පත දෙමව්පියන් අතට පත්වීම මගින් දෙමව්පියන්ට වෙළඳසැලට ගොස් තමන්ට උචිත පරිදි නිල ඇඳුම් රෙදි තෝරා ගත හැකි බව ද අධ්‍යාපන අමාත්‍යවරයා සදහන් කළා. මේ අතර, වෙළඳසැල් හිමියන්ට තමන්ට හිමි  ඕනෑම ගිණුමකට වවුචර්පත බැර කළ හැකි අතර එය එවෙලේම මුදල් කර ගත හැකි බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  

කෙසේ වෙතත්, පාසල් නිල ඇඳුම් වෙනුවට වවුචර්පතක් ලබාදීමෙන් එම ක්‍රියාවලියට සම්බන්ධ බොහෝ පාර්ශවයන් පීඩාවට පත්ව ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කළා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට  එක්වෙමින් ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ රජය නිල ඇඳුම් වෙනුවට වවුචර්පත් ලබාදීම වහාම නතර කළ යුතු බවයි.