අනිද්දා වර්ජනය ස්ථිර බව වෘත්තීය සමිති කියයි

Sunday, 13 December 2015 - 8:06

%E0%B6%85%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB+%E0%B6%B6%E0%B7%80+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ පැවති සාකච්ඡාව අසාර්ථක වූ නිසා අනිද්දා සංවිධාන කර තිබූ වැඩවර්ජනය ස්ථිර වශයෙන්ම පවත්වන බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති රැසක් නියෝජනය කරන ජාතික වෘත්තීය සමිති පෙරමුණ ප්‍රකාශ කළා. එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මෙම අදහස් පළ කළේ සාකච්ඡාවෙන් අනතුරුව ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වෘත්තීය සමිති නියෝජිතයන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. පස්වරු 3 ට පමණ ආරම්භ වූ එය අවසන් වුණේ පස්වරු 6.15 ට පමණයි. රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම වැටුප් කප්පාදු කිරීම, වැඩිකළ රුපියල් දස දහසක දීමනාව මූලික වැටුපට එක් නොකිරීම, මෑන් පවර් සේවකයන් ස්ථිර කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව එහිදී වෘත්තීය සමිති සිය අවධානය යොමුකර තිබෙනවා. සාකච්ඡාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක මෙන්ම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා ද එක්වූ බව සඳහන්.

කෙසේ වෙතත්, කල්මැරීම මිස තම ප්‍රශ්නවලට කිසිදු විසඳුමක් රජය පාර්ශවයෙන් නොලැබුණු බවයි ජාතික වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය කියා සිටියේ.

දුම්රිය වෘත්තීය සමිතිද හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙම වර්ජන ක්‍රියාමාර්ගය දියත් කිරීමට සූදානම්. ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් දුම්රිය සාමුහික සන්ධානයේ කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු, ඉදිරි පැය 48 තුළ මෙම ගැටලූවලට විසඳුමක් ලබාදීමට රජය කටයුතු කළහොත් වර්ජන ක්‍රියාමාර්ගය නවතා ගත හැකි බව අවධාරණය කළා.

මේ අතර, අධ්‍යාපන ක්ෂේත්‍රය නියෝජනය කරමින් මාධ්‍ය හමුවට එක්වු ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ වර්ජනය දියත් කරන 15 වන දින පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ රජය තීරණයක් ගත යුතු බවයි.

අග්‍රාමාත්‍යවරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සාමාජිකයන් එක්ව සිටියේ නැහැ. ඔවුන් වර්ජනයට සම්බන්ධ නොවන්නේ දැයි අප එහි සභාපති, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී.ලාල්කාන්තගෙන් විමසීමක් කළා. ඔහු කියා සිටියේ තම සාමාජිකයන්ටද වර්ජනයට සහයදෙන ලෙස දන්වා ඇති බවයි.

කෙසේ වෙතත් වෘත්තීය සමිති තම තීරණය පිළිබඳව මෙලෙස ප්‍රකාශ කළත් අග්‍රාමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්ණවලට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා  කියා සිටියේ සාකච්ඡා සාර්ථකව අවසන් වූ බවයි.