බැසිල්ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

Thursday, 17 December 2015 - 16:44

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට සහ දිවි නැගුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ආර්.කේ. රණවකට ලබන වසරේ මාර්තු මස 10 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (17)  සිතාසි නිකුත් කළා. මහාධිකරණ විනිසුරු පද්මිණී එන්. රණවක මෙම නියෝගය නිකුත් කළේ දිවිනැගුම දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 26 කට අධික මුදලක් සාපරාධී ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා ගොනුකළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

 භාණ්ඩාගාරයේ අනුමැතියකින් තොරව මෙම මුදල් පරිහරණය කිරීම ඇතුළු තවත් චෝදනා 06 ක් යටතේයී විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණේ. මීට පෙර දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබූ අතර, පසුව ඔවුන් ඇප මත මුදාහැරුණා.

මේ අතර, බරපතල වංචා සහ දූෂණ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමද හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව මේ වනවිට විමර්ශනයක් සිදුකරනවා. ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට වෙන්ව තිබූ රුපියල් කෝටි 15.5 ක මුදලක් අභ්‍යන්තර ගුවන් ගමන් වෙනුවෙන් යොදා ගැනීම සම්බන්ධයෙන්.