හිරුණිකාගේ මාධ්‍ය හමුවේ වීඩියෝ දර්ශන සී.සී.ඩී.යට ලබාදෙන්නැයි අධිකරණයෙන් නියෝග

Thursday, 31 December 2015 - 21:11

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%A9%E0%B7%93.%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
දෙමටගොඩදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධියෙන් පසු හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ දර්ශන ලබා ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (31)  කොළඹ අපරාධ කොට්ඨාශයට අවසර ලබාදුන්නා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනය සදහා අදාළ දර්ශන අවශ්‍ය බවට නීතිපතිවරයා දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවයි. ඒ අනුව, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සිය කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකරන ලද දර්ශන කොළඹ අපරාධ කොට්ඨාශය වෙත ලබාදෙන ලෙසයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රූපවාහිනි ආයතනවලට නියෝග කළේ.

මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඉන් දෙදෙනෙකු පෙරේදා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ඊයේ (30) කොටුව - අතිරේක මහේස්ත්‍රාත් ඔගස්ටා අතපත්තු හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු නියෝග කෙරුණේ එම සැකකරුවන් ද ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.

දෙමටගොඩ, රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් පැහැර ගනු ලබන්නේ පසුගිය 20 වනදායි. අනතුරුව පැහැරගත් පුද්ගලයා හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් කොළොන්නාවේ පිහිටි කාර්යාලයකට රැගෙන ගොස් තිබූ අතර, එහිදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර තමන්ට තර්ජනය කළ බව එම පුද්ගලයා ප්‍රකාශ කළා. පැහැර ගැනීමට ලක් වූ පුද්ගලයා වැඩිදුරටත් පවසන්නේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආරක්ෂකයින් තමන්ට පහරදුන් බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට ඍජුවම චෝදනා එල්ල වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පැහැර ගැනීම සිදුකර දින 10 ක් ගත වන අද දිනය වනවිටත් අත්අඩංගුවට ගෙන නැහැ. මෙම සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පිළිබද නීතිපති උපදෙස් ලබා ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියා.

අද (31) පැවති මාධ්‍ය හමුවලදීත් මෙම  සිද්ධිය පිලිබදව අදහස් පළ වූ අතර, පුරවැසි සංවිධාන එකමුතුව කැදවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ එහි කැදවුම්කරු සමන් රත්නප්‍රිය මෙන්ම, වමේ කේන්ද්‍රයේ කැදවුම්කරු චමීර පෙරේරා අවධාරණය කළේ අදාළ සිද්ධියට සම්බන්ධ හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.