2015 රිය අනතුරුවලින් මරණ 2763 ක්

Saturday, 02 January 2016 - 12:51

2015+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+2763+%E0%B6%9A%E0%B7%8A
ගත වූ වසර තුළ මෙරට සිදුවූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2763 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිස් රථවාහන සහ මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරකදී වාර්තා වූ වැඩිම රිය අනතුරු මරණ සංඛ්‍යාව මෙය බවයි.

ඒ අනුව, එම වසරේ යතුරුපැදි අනතුරු හේතුවෙන් පුද්ගලයින් 1007 දෙනෙකු ද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මේ අතර, ගෙවීගිය පැය 24 තුළ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

දඹුල්ල - කැකිරාව මාර්ගයේ කයිලපතාන ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගලක ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

කැකිරාව පොලීසිය සදහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේදී මෙම අනතුර සිදුවී ඇති බවයි.

අනතුරෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා. සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ වයස අවුරුදු 30 සහ 35 වයස්වල පසුවන්නන් දෙදෙනෙක්.

රත්නපුර - පැල්මඩුල්ල මාර්ගයේ - අංගම්මන හන්දියේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මන්නාරම - යාපනය මාර්ගයේ තනන්කලප්පුව ප්‍රදේශයේදී ද යතුරුපැදියක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් 28 හැවිරිදි යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්වූ අතර, තංගල්ල ප්‍රදේශයේ අද උදෑසන යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ද පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මීට අමතරව, ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ විදුලිබලාගාර හන්දිය අසලදී ලංගම බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් පාදුක්ක ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

වාරියපොල නගරයේදී පුද්ගලයෙකු බස් රථයේ ඇද වැටීමෙන් ද 56 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.