පාකිස්තාන අගමැති අද ජනපති හමුවේ

Tuesday, 05 January 2016 - 8:32

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AF+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
තුන්දින නිළ සංචාරයක් සඳහා ඊයේ දිවයිනට පැමිණි පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් පිළිගැනීමේ නිළ උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද උදෑසන පැවැත්වෙනවා. එහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් හමුදා උත්තමාචාරයක් ද පැවැත්වීමට නියමිතයි.

ඉන් අනතුරුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිළ සාකච්ඡා ආරම්භ වන අතර, ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබෙනවා.

 දහවල් අරලියගහ මන්දිරයට පැමිණෙන පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ දිවා භෝජන සංග්‍රහයක් පවත්වනු ලබනවා.

ඉන්පසු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර පාකිස්තාන ප්‍රදර්ශනය සංකේතාත්මකව විවෘත කිරීමට ද නියමිතයි.  

පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාස් ෂරිෆ්ගේ ශ්‍රිී ලංකා සංචාරය වෙනුවෙන් අද දිනයේ දීත් මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

ඒ අනුව අද පෙරවරු 8.30 සිට පෙරවරු 10 දක්වා කාලය තුළ පාසල් පාර සිට ලේක්හවුස් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත සහ ගාලූ මැද පාර දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනු ඇති.

පෙරවරු 11 සිට පස්වරු 12 යි 30 දක්වා එන්.එස්.ඒ. වටරවුමේ සිට ගාලූපාරේ කොල්ලූපිටිය මංසන්ධිය දක්වා රථවාහන ගමනාගමනය සීමා කෙරෙනවා.

ඊට අමතරව අද පස්වරු 1.30 සිට පස්වරු දෙක දක්වා කොල්ලූපිටිය මංසන්ධියේ සිට ගාලූ පාර, එන්.එස්.ඒ. වටරවුම, ලෝටස් පාර, සෙරමික් මංසන්ධිය, රීගල් වටරවුම, පාසන් පාර, කොල්ලූපිටිය පොලීසිය ඉදිරිපිට වටරවුම දක්වා ගමනාගමනය සීමා කෙරෙනු ඇති.