Update : මීටියාගොඩ අදත් වෙඩි පත්තුවේ (ඡායාරූප)

Wednesday, 06 January 2016 - 14:06

Update+%3A+%E0%B6%B8%E0%B7%93%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හික්කඩුව - තෙල්වත්ත රජමහා විහාරස්ථානයට ආසන්න ප්‍රදේශයකදී අද (06) පෙරවරුවේ ලසන්ත මෙන්ඩිස් නමැති යුධ හමුදාවේ සේවය නියුතු පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් ඔහුට අනතුරක් සිදුවී නොමැති බවයි.

ඊයේ දිනයේ ද රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙකු ඉලක්ක කරගෙන මීටියාගොඩදී වෙඩි ප්‍රහාරයක් එල්ල වුණ. එහිදී ඔහුට හානියක් සිදුනොවූ අතර වෙඩි ප්‍රහාරය එල්ල වී තිබුණේ ඔහුගේ නිවස අසල ගසකටයි.

අදාළ සැකකරු මනෝජ් මෙන්ඩිස් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිට ඇප මත නිදහස් වූ අයෙක්.  


Update :- Wednesday, 06 January 2016 - 19:20
-----------------------------------------------------------------------

රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනයේ සැකකරුවෙකු ඉලක්ක කරගනිමින් වෙඩි ප්‍රහාරයක් එල්ලවී පැය 24 ක් ගතවීමටත් පෙර ඊට සම්බන්ධ තවත් පුද්ගලයෙකු ඉලක්ක කරගනිමින් අද (06) වෙඩි ප්‍රහාරයක් එල්ලවුණා.

ඝාතනයට ලක්වූ මනෝජ් මෙන්ඩිස්ගේ ආධාරකරුවෙකු වන ලසන්ත මෙන්ඩිස් නැමැත්තා ඉලක්ක කරගනිමින් මෙම වෙඩි ප්‍රහාරය එල්ලවුණේ මීටියාගොඩ - තෙල්වත්ත රජමහා විහාරය  ආසන්නයේදියි.

සිය දරුවා සමඟ නගරයට ගොස් නැවත සිය නිවස වෙත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටියදී තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පළාගොස් තිබුණා.

ඉන් ඔහුට හානියක් සිදුවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

වෙඩි ප්‍රහාරය එල්ලවූ ලසන්ත මෙන්ඩිස් නැමැත්තා යුද හමුදාවේ සෙබලෙකු ලෙස සේවය කරන අතර, නිවාඩුවට පැමිණ සිටියදි ඔහුට මෙම වෙඩි ප්‍රහාරය එල්ලවී ඇති බව මීටියාගොඩ පොලීසිය කියා සිටියා.

මේ අතර ඊයේ (05) දහවල් මීටියාගොඩ - වේරගොඩ ප්‍රදේශයේදී මනෝජ් මෙන්ඩිස් ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු ඉලක්ක කරගනිමින් එල්ලවූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවමත් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

වේරංග ලක්ෂාන් නැමති අදාළ පුද්ගලයාට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු ටී 56 වර්ගයේ ගිනි අවියකින් සිදුකළ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තිබුණේ ඔහුගේ නිවස අසල ගස් කිහිපයකටයි.

එම ස්ථානයේ තිබී පතොරම් කොපු 3 ක් ද පොලීසිය සොයාගෙන තිබෙනවා.

හික්කඩුව - වෑවල ප්‍රදේශයේදී පසුගිය වසරේ මාර්තු 23 වනදා රාත්‍රියේ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වුණා.

එම සිද්ධියේ සැකකරුවෙකු වන වේරංග ලක්ෂාන්  මේ වනවිට ඇප මත නිදහස්ව සිටින අයෙක්.
























(ඡායාරූප - රවීන්ද්‍ර චන්ද්‍රලාල් / දීපාල් සිල්වා)