UPDATE: හිරුණිකාට ඇප - නඩුව යළි 12

Saturday, 09 January 2016 - 13:25

UPDATE%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4+-+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+12
දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අද අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාශය, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවයි.



අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව අලූත්කඬේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

නඩුව ලබන 12 වනදා යළි කැඳවීමටයි නියමිතව ඇත්තේ.

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්  හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය වෙත නීතිපතිවරයා  උපදෙස් ලබාදී තිබුණා.



දෙමටගොඩ රෙදිපිලි වෙළඳසැලක සේවය කළ 34 හැවිරිදි පුද්ගලයෙකු හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථයකින් පැමිණි පිරිසක් විසින් පැහැර ගනු ලැබුවේ පසුගිය 21 වනදායි. පසුව සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ ආධාරකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් එම සැකකරුවන් අටදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අතර එහිදී ඔවුනට දැඩිව අවවාද කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඞ් නිහායි නියෝග කළේ එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

එමෙන්ම පැමිණිලිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවද අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙහිදී දැනුම්දුන්නා.

විත්තියේ පාර්ශවය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අයත් ඩිෆෙන්ඩර් රථය නිදහස් කරන ලෙස මෙහිදී ඉල්ලීමක් කළත් රජයේ නීතීඥවරයා ඊට දැඩිව විරෝධය පළ කිරීමත් සමඟ අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

සිද්ධියට අදාළ නඩුව යළි ලබන 12 වනදා කැඳවීමට නියමිතයි.



Update - Saturday, January 9, 2016 : 1721
--------------------------------------------------

දෙමටගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍රට අධිකරණයෙන් ඇප නියම වුණා.

කොළඹ - අලූත්කඬේ අංක 2 ක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඉදිරිපත් කල අවස්ථාවේ රුපියල් ලක්ෂ 2 ක බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි අධිකරණය නියෝග කළේ.

නඩුව යළි ලබන 12 වනදා කැදවීමට නියමිතයි. දෙමටගොඩදී තරුණයෙකු පැහැර ගෙන ගොස් පහරදී තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඇයගේ නිවසේදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා.