රොෂේන් ශානකගේ දෙමව්පියන් ජනාධිපති ලේකම් කාර්යාලයට

Thursday, 14 January 2016 - 14:52

%E0%B6%BB%E0%B7%9C%E0%B7%82%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B6%9A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7
කටුනායක පැවති විරෝධතාවක් අතරතුරදී රොෂේන් ශානක ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ පරීක්ෂණයේ වාර්තාව කඩිනමින් ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා නිදහස් වෙළඳ කලාපීය සහයෝගීතා සංවිධානය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටට පැමිණියා.

මෙම අවස්ථාවට රොෂේන් ශානකගේ මව සහ සහෝදරයින් දෙදෙනෙකු පැමිණ සිටීමද විශේෂත්වයක්.

පෞද්ගලික අංශය සඳහා එවකට සිටි රජය විසින් යෝජිත විශ්‍රාම වැටුපට එරෙහිව නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් විරෝධතාවයේ නිරතවූයේ 2011 වසරේදියි.

පසුව එම වසරේ මැයි මස 30 වනදා මෙම විරෝධතාවට පොලීසිය වෙඩි ප්‍රහාරයක් එල්ල කළා. එම ප්‍රහාරයෙන් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් 200 කට අධික සංඛ්‍යාවක් තුවාල ලැබුවා.

රොෂේන් ශානක ද මෙම ප්‍රහාරයේදී තුවාල ලබා දින කිහිපයක් රෝහල් ගතව සිටියදී මියගිය අතර එම මරණය පසුව සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කළා.

එවකට සිටි රජය රොෂේන් ශානක ගේ මියයෑම පිළිබඳව සොයාබැලීම සඳහා  ඒකපුද්ගල කොමිසමක් පත් කළ අතර එහි ප්‍රධානියා ලෙස කටයුතු කළේ නීතීඥ මහානාම තිලකරත්නයි.

කෙසේ වෙතත් මෙම කොමිසමේ වාර්තාව මෙතෙක් එළිදක්වා නැහැ.

කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පිරිසෙන් කිහිපදෙනෙකුට ජනාධිපති  අතිරේක ලේකම් එන්.ඒ. කොඩිකාර හමු වීමට අවස්ථාව  හිමිවුණා.

එහිදී අතිරේක ලේකම්වරයා පොරොන්දු වී ඇත්තේ සති 2 ක් තුළ මේ සම්බන්ධයෙන් කඩිනම් විසඳුමක් ලබාදෙන බවයි.