"ථේරවාදී භික්ෂු කතිකාවත පනත් කෙටුම්පත නිසා හෙළ උරුමයේ දෙදරීමක්"

Tuesday, 19 January 2016 - 8:17

%22%E0%B6%AE%E0%B7%9A%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%B7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%84%E0%B7%99%E0%B7%85+%E0%B6%8B%E0%B6%BB%E0%B7%94%E0%B6%B8%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A%22
ථේරවාදී භික්ෂු කතිකාවත පිළිබඳ පනත් කෙටුම්පත සම්බන්ධ මත ගැටුම් නිසා ජාතික හෙළ උරුමය තුළ ගැටළුකාරී තත්ත්වයක් මතුව ඇති බව පිවිතුරු  හෙළ උරුමය පවසනවා. කොළඹ ඊයේ (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් උදය ගම්මන්පිල මේ බව සඳහන් කළා.  

 කෙසේ නමුත් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියන් ප්‍රකාශ කළේ මෙවැනි පනතක් යුගයේ අවශ්‍යතාවක් වන බවයි. එහි පවතින අඩුපාඩු නිවැරදි කරගෙන පනත සම්මත කරගැනීමට සහයෝගය ලබාදෙන බවද  ඕමල්පේ සෝභිත හිමියන් වැඩිදුරටත් කියා සිටියා.

 
මේ අතර බුද්ධශාසන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ථේරවාදී භික්ෂු කතිකාවතක් ලියාපදිංචි කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳ පැහැදිළි කිරීමක් සිදුකළා. එමඟින් පෙන්වා දෙන්නේ අදාළ පනත මගින් භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් කිසිදු නීති පැනවීමක් සිදු නොවන බවයි. එමෙන්ම භික්ෂූන් වහන්සේලා උදෙසා කතිකාවතක් සකස් කිරීමේ බලය මෙමඟින් වෙනත් කිසිදු ගිහි පාර්ශවයකට හෝ නිලධාරියෙකුට පැවරීමක් සිදු නොවන බවත්, බුද්ධශාසන අමාත්‍යාංශය අවධාරණය කළා.

 භික්ෂූන් වහන්සේලාට අකැප හෝ සුදුසු නොවන බවට සැළකෙන ගුප්ත විද්‍යා කටයුතු, වෙළඳාම, ව්‍යාපාරික කටයුතු හෝ රිය පැදවීම, ආදී කටයුතු ගැන කිසියම් නිකායක් හෝ පාර්ශවයක කතිකාවතක් මගින් සකස් කරන සීමා වෙනත්  ඕනෑම නිකායක සහ පාර්ශවයකම අභිමතය අනුව තීරණය කළ හැකිවනවා.  එමෙන්ම මෙම පනත් කෙටුම්පත සඳහා සංශෝධන තවදුරටත් ඉදිරිපත් කළ හැකි අතර, සියලූ සංශෝධන යෝජනා අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලාගේ එකඟතාව ඇතිව පෙබරවාරි 29 වන දිනට පෙර බුද්ධශාසන අමාත්‍යාංශය වෙත එවන ලෙසද අමාත්‍යාංශය දැනුම්දෙනවා.


ථේරවාදී භික්ෂු කථිකාවත පාර්ලිමේන්තුව තුළ සම්මත කරන්නේ තෛනිකායික මහනායක හිමිවරුන්ගේ අනුමැතිය ලැබීමෙන් අනතුරුව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඊයේ (18) අවධාරණය කළා.

"......මේ ඉදිරිපත් කර ඇති පණත පැහැදිලි ලෙසම මහා සංඝ රත්නයේ ඉල්ලීමක් මත සකස් වූවක්... පාර්ලිමේන්තුවට මෙය ඉදිරිපත් කිරීම තුළ එය අවසන් යෝජනාව හෝ අවසන් කෙටුම්පත වන්නේ නැහැ.... ඒ නිසා අපි රජය විදියට තීරණය කරල තියෙනවා මේ ඉදිරිපත් කළ යෝජනාව නැවත අපි ගෞරවනීය මහා සංඝරත්නය වෙත ඉදිරිපත් කරලා ත්‍රෛනිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු ඔබවහන්සේලා සෑම කෙනෙකුටම එහි අවශ්‍ය වෙනස් කම් සංශෝධන සදහා එය ඉදිරිපත් කරලා ඉන් පසුව ඔබවහන්සේලාගේ අනුමැතියට යටත්ව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට..... ඒනිසා ඒ පනත පිළිගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම හෝ අවශ්‍ය කරුණු සංශෝධනය කිරීම හෝ සම්පූර්ණයෙන්ම නිකායික මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු වන්දනීය පූජණීය මහා සංඝ රත්නයේ අනුමැතිය ඇතිව අපි රජය කරන බව ගෞරව පූර්වකව මේ අවස්ථාවේ සදහන් කරන්නට ඕනේ...."

අදාළ පණත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කරන්නැයි ඉල්ලා පිවිතුරු හෙළ උරුමය  ඊයේ  ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ද  ගොනු කළා.