සයිටම් ගැන පැහැදිලි ප්‍රකාශයක් දෙන්න

Wednesday, 20 January 2016 - 9:25

%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය මතය ප්‍රකාශ කළ යුතු බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය පවසනවා.

එහි කැඳවුම්කරු ළහිරු වීරසේකර මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍යවරයා අතර අරලියගහ මන්දිරයේදී පෙරේදා  සාකච්ඡාවක් පැවැත්වුණා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න කියා සිටියේ සාකච්ඡාවේදී පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කිසිදු විරෝධතාවයක් නොදැක්වූ බවයි.

කෙසේ වෙතත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ ඊයේ කැඳවා තිබූ තවත් මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව අදහස් පළ කළා.

ඒ සම්බන්ධයෙන් පැහැදිළි කරන එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන්ද සොයිසා කියා සිටියේ ඇතැම් ප්‍රකාශ ඔස්සේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් වෛද්‍ය සංගමය තුළ බෙදීමක් පවතින බවට අදහස් පළවී ඇති බවයි.

සංගමය තුළ එවැනි කිසිදු බෙදීමක් නොමැති බව වෛද්‍ය නවීන් ද සොයිසා අවධාරණය කළා.